සන්ජේ ලීලා බන්සාලී ගේ අලූත්ම සිනමා නිර්මාණය වන  “Guzaarish”  සිනමා පටය මේ දිනව කොල්ලූපිටිය ‘ලිබර්ටි’ සිනමා ශාලාවේ ප‍්‍රදර්ශනය කෙරෙනවා. කවදත් හින්දි සිනමාවේ යමිකිසි අපූර්වත්යකින් සිනමා පට නිර්මාණය කරන  සංජේ ලීලා බන්සාලී අප වඩාත් හොඳින්ම හඳුනන්නේ ඔහුගේ වඩාත්ම ජනපි‍්‍රය වූ සහ සම්මාන රැසකට හිමිකම් කී   “Hum dil de chupke sanam”  “Devdaas”  “Black” වැනි සිනමා නිර්මාණයන් තුළිනි. එනිසාම, ඔහුගේ අලූත් නිර්මාණය බලන්නට මා ලිබර්ටි සිනමාහලට ගොඩවැදුනේ නොතිත් අසාවකින් සහ දැඩි නොඉවසිල්ලකින්. නමුත්,  ර්‍ණඨම “Guzaarish”  සිනමා පටය තුළින් සංජය ලීලා බන්සාලී, තමා මෙතුවක් පවත්වාගෙන ආ තම අස්ථානය බිඳගෙන ඇති සෙයකි. මෙම සිනමා පටයේ මුඛ්‍ය තේමාව නාභිගතවන්නේ එහි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන Hrithik Roshan   විසින් රංගන දායකත්වය සපයන   “Ethan mascarenhas”  චරිතය වටායි. ඔහු ලෝකප‍්‍රසිද්ධ ව සිටි මැජික් කරුවෙකි, නොඑසේනම් අංක එකේ මැජික් කරුවෙකි. මැජික් සංදර්ශනයක් අතරමගදී සිදුවන අනතුරකින් ඔහු අත පා සතර පණ නැති, සදාකාලික අබාධිත  “Quadriplegic”  තත්ත්වයට පත්වෙනවා. ඔහුට හැගීම් දැනීම් පවා නොදැනී යනවා. කළ හැකි එකම දෙය නම් කතා කිරීම සහ ඔලූව යාන්තමින් එහෙ මෙහෙ කිරීම පමණයි. වසර 12 ක් පුරා මේ කරුමක්කාර ජීවිතය ගෙවන ඔහුට සිය දිවි හානීකරගැනීමටවත් නොහැක්කේ, ශරීරයේ කිසිම අංගයක් පණ නොමැති නිසා. එනිසාම, කිසිවකුගේ උදව් ඇතිව, ස්ව කැමැත්තෙන් මිය යෑමට  “Euthanasia”  හැකිවන ලෙස උසාවියෙන් අවසර ගන්නට ඔහු උත්සාහ දරයි. ඒ සඳහා මුලින් ඉතා තදින් විරුද්ධ වී සිටි නමුත්, පසුව දැඩි සහයක් ලබා දෙන්නේ මෙම නඩුව වෙනුවෙන පෙනී සිටින ඔහුගේ හොඳම යෙහෙළියක් වන  “Divyani dutta”  ලෙස රගන Shernaz Patel  සහ  “Sofia D’Souza”  ලෙස රගන Aishwarya rai  යන කාන්තා චරිත දෙකයි. මේ චරිත දෙකම ඉතා තදින්  “Ethan Mascarenhas”   හට ආදරය කරයි. කතන්දරයම දිගහැරෙන්නේ මේ සිදුවීම් සහ චරිත වටාය. සිනමා පටය දිග හැරෙන්නේ  කතාන්දරයේ මැද සිටයි. ඉන්පසු එය අතීතාවලෝකනය සමග (FlashBacks)  සිනමා පටය ක‍්‍රමිකව ඉදිරියට ගලා යයි.

මෙම සිනමා පටය අපූරු සිනමාපටයක් ලෙස විඳින්නට හැකිවුවත්, එසේ නොහැකිවන්නේම මීට පෙර මෙම සිනමා පටයේ අනුභූතියම වූ ස්ව කැමැත්තෙන් පුද්ගලයකුට මිය යෑමට ඇති අයිතිය, (Euthanasia)  අනුභූතිය කරගත් වෙනත් චිත‍්‍රපට බිහි වී තිබීම නිසා නොවේ. මෙම චිත‍්‍රපටය එලෙසින්ම වෙනත් රටක බිහි වී තිබීම නිසාය. එලෙසින්ම යනුවෙන් මා අදහස් කළේ “Guzaarish”  චිත‍්‍රපටය සැබැවින්ම එම චිත‍්‍රපටයේ කොපියක් වීමයි. නමුත් අවාසනාවකට මා මුලින් සඳහන් කළ, එනම් 2004 වසරේදී නිශ්පාදන වූ, Mar adentro (English title: The Sea Inside) නම් ස්පාඥ්ඥ චිත‍්‍රපටයට අලගු තබන්නටවත්  “Guzaarish” චිත‍්‍රපටය සමත් වී නැත. සංජේ ලීලා බන්සාලී තම චිත‍්‍රපටයට දායක කරගන්නේ මැජික් කරුවෙකි. එමගින් ඔහු අපට චිත‍්‍රපටයේ අතීතාවලෝකනය තුළින් අපූරු මැජික් සහ ලස්සන පසුතල නිර්මාණ, ආලෝකකරණයෙන් විචිත‍්‍රවත් අපූරු වින්දනයක් ලබා දෙන බව සැබැවි. මෙහි එන මැජික් කරුවා වෙනුවට අප ඉහල සඳහන් කළ ස්පාඥ්ඥ සිනමාපටය වන “Mar adentro”  සිනමා පටය කේනද්‍රගතවන්නේ සැබෑම ජීවන අත්දැකීමක් සහ සැබෑම චරිතයක් වටා. ඔහු මැජික් කරුවෙක් නොව, කිමිදුම් කරුවෙකි. ඒ එහෙයින්ම එය විශ්වසනීයත්වෙයන් අනූනයි. සහ එහි තාත්විකත්වය සහ අතිශය සියුම් හැගීම් ඉදිරිපත්කරන ආකාරය අතිශය හද දවන සුළුය.
Ramón Sampedro (Real man who faced it)Mar adentro (The Sea Inside)  සිනමා පටයට හේතු සාධව වූ Ramón Sampedro  නැමැති චරිතය නාවික ධීවරයෙක්. ඔහු උඩ සිට මුහුදට පැනීමේදී ඇතිවන අනතුරකින් අත පය සතර පණ නැති සදාකාලික අබාධිත “Quadriplegic” තත්ත්වයට  පත්වෙයි. ඒ ඔහුට වයස අවුරුදු 25 දී. එතැන් පටන් වසර 29 ක් තිස්සේ ඔහු තවකෙකුගේ සහාය ඇතිව සියදිවි හානීකරගැනීමේ අයිතිය වෙනුවෙන්, නොතිත් අරගලයක නිරත වෙනවා. පළමුව ස්පාඥ්ඥ උසාවියේ නීතිමය එකගතාවය ගැනීමට ගෙන යන මේ අරගලය, ජනතාව අතර මහා කතිකාවක් බවට පත් වී, විශාල ජන සහයෝගයක් ඔහුට ලැබෙනවා. පසුව මෙය ලොව පුරා පවා ප‍්‍රචලිතවෙන මහා අරගලයක් දක්වා දිය යනවා. තමන්ගේ තීරණයට පක්ෂව, එහි නෛතිකභාවය ලබාගැනීමට නොහැකි වූ නමුත්, ඔහු 1998 දී පොටෑසියම් සයනයිඞ් ශරීර ගත වී ඔහු මියයනවා. මේ සත්‍ය සිද්ධියේදී ඒ සඳහා ඔහුට උදව් කරන්නේ ද ඔහුගේ සමීපතම මිතුරියක් වන Ramona Maneiro. Sampedro ගේ මරණය  සම්බන්ධයෙන් ඇයව සැක පිට අත් අඩංගුවට ගන්නා නමුත්, ඔප්පු කළ හැකි ප‍්‍රබල සාක්ෂි නොමැති කමින් ඈ නිදහස් වෙනවා. වසර හතකට පසු ඇය රූපවාහීනි වැඩසටහනක දී පාපොච්චාරණය කරනවා, පොටෑසියම් සයනයිඞ් වතුරට දමා, උරා බොන්නට හැකිවන සේ බටයක් දමා ඇය ඔහුට ලබාදුන් බව, සහ ඔහුට තිබූ බලවත්ම ආදරය නිසා ඇය ඔහුට උදව්කල බව.
නමුත් මේ සත්‍ය සිද්ධිය ඇසුරින් බිහිවන Mar adentro (The Sea Inside) චිත‍්‍රපටය මෙම සත්‍ය සිද්ධිය ගෙඩි පිටින් නොගෙන් ඉතාමත් හැගීම් දනවන සුළු, අති විශිෂ්ට සිනමා නිර්මාණයක් බවට පත්කර තිබෙනවා. එමගින් ඇතිකරන කම්පනය සහ සියුම් මනෝභාවයන් සංජේ ලීලා බන්සාලීට නම් කෙසේවත් හමු වී නොමැති බව අවිවාදිතයි. Ramón Sampedro  ගේ චරිතය රගපාන දැනට ස්පාඥ්ඥ බසින් නිපදවන සිනමාපටවල සිටින විශිෂ්ටම නළුවකු වන Javier Bardem,  මේ චරිතය තුළ ජීවත්වන අන්දම අති විශිෂ්ටයි. ඔහු Ramón Sampedro ගේ මනෝභාවයන් සහ එම චිත‍්‍රපටය පුරා දිවෙන ආදරය, ජීවිතය, සහ මනෝ භංගත්වයේ පැතිකඩවල් ඔහු නිරූපනය කරන ආකාරය සංජේ ලීලා බන්සාලී ගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මෙන් සිය ගුණයක් විශාලයැයි කීවද වරදක් නැති තරම්. සංජේ ලීලා බන්සාලී තමන්ට හිමි අපූරු සිනාම ශෛලිය තමන්ගේ මෙම “Guzaarish” සිනමා පටයේත් මනාව යොදාගෙන තිබෙනවා. පසුතල නිර්මාණ, ආලෝක කරණය, කැමරා කෝණ සහ කැමරාකරණය ප‍්‍රශස්ත ලෙස යොදාගෙන තිබෙනවා. තරමක් ස්පාඥ්ඥ උරුවක් ගන්නට දෝ, නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම්වල සිට  ඔවුන් ජීවත්වන විශාල මන්දිරයත්, වට පිටාව සහ සිනමා පටයේ සංගීතයත් සකස් කර තිබෙන නමුත්, එයින් චිත‍්‍රපටයට සාධාරණයක් හෝ විශ්වාසනීයත්වයක් හිමිවන්නේ නැහැ. අය්ශ්වර්යා වැනි ප‍්‍රබල නිලියකගෙන් ගත යුතු උපරිම දායකත්වය ගෙන නොමැති අතරම, ඇගේ චරිතය නිකන්ම නිකං ‘සාත්තු සේවිකාවක්’ ලෙස අවසානය තෙක් ඇදී යයි. මා කලින් සඳහන් කළ චිත‍්‍රපටයේ ආදරය වෙනුවෙන් එම කාන්තාවන් දෙදෙනා ගෙන යන අරගලය සහ ඔවුන්ගේ චිත්ත පීඩාව, මනෝභාවයන් ඉතා සියුම්ව ඉදිරිපත් කර ඇති නමුත්, මේ චිත‍්‍රපටයේ කිසිඳු චරිතයක එවැනි සියුම් තැන් ඉස්මතුවෙන ප‍්‍රබල චරිත නිරූපණයක් දක්නට ලැබෙන්නෙ නැහැ. අනෙක් කාරණය වන්නේ, මෙහි ඇති මැජික් සංදර්ශණ සහ ගීත කිහිපය නොවන්නට මෙය ඉතාම දුර්වල, බලාසිටින්නට පවා නොහැකි අලස සිනමා නිර්මාණයක් වනවා නිසැකය. Mar adentro  චිත‍්‍රපටයේ අතිශය ප‍්‍රබල දර්ශනයක් වන්නේ, Ramón Sampedro  ගේ අවසන් මුහුදු පැනීමයි. ඔහු උඩ සිට පහලට පනින එම දර්ශනය සහ දිය යටින් පෙන්වන ඔහුගේ හිස බිම වැදී ඔහු අඩපණ වන දර්ශණය මෙම චිත‍්‍රපටයේ අතිශය ප‍්‍රබල සන්ධිස්ථානයක්. එමෙන්ම අධ්‍යක්ෂකවරයා තමාගේ එම හොඳම දර්ශණය උපරිම ලෙස චිත‍්‍රපටය පුරාම විවිධ සංඥාර්ථ සපයමින්, යොදාගෙන තිබේ. සංජේ ලීලා බන්සාලී ද තම ප‍්‍රධාන චරිතය, ඉහල සිට වතුර ටැංකියක් තුළට වැටෙන්නට සලස්වා එහ දර්ශනයට ඉතා ළගින් යන දර්ශනයකට උත්සාහ දරා ඇති බව පෙනුනත් ඔහු එයින් ගන්නා වැඩ කොටස ඉතාම අල්පයි. අනෙක් කාරණය වන්නේ මෙයම සිනමා පටය  ඉන්දියාව තුළ හෝ ලංකාව තුළ කොයිතරම් දුරට සාර්ථකත්වයක් අත් කරගනීදැයි යන කරුණයි. එයට හේතුව වන්නේ, අපේ රටේ මෙන්ම ඉන්දියානු ජනතාව පවා (බහුතරයක්) හින්දි සිනමා පටයකින් බලාපොරොත්තු වන අන්ත දෙකම මේ තුළින් ගිලිහී ගොස් තිබීමයි. එක්කෝ, මෙය ‘දේව්දාස්’ වර්ගයේ අතිශය රොමෑන්ටික්, ඇඩෙන නිර්මාණයක් විය යුතුයි. නැතිනම් මනි රත්නම් ගේ සිනමා පටයක් මෙන් ජනතාවට දැනෙන සැබෑ කරුණක් මත නිපදවෙන එහෙත්, අපූරු රස වින්දනයක් ලැබෙන සිනමා නිර්මාණයක් විය යුතුයි. “Guzaarish”  හි කතා සංකල්පය වන, ස්ව කැමැත්තෙන් මිය යෑම (Euthanasia)  පිළිබඳ සංකල්පය හෝ ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි යන හැගීම හෝ ලංකාව ප‍්‍රමුඛ ආසියාතික රටවලට එතරම් දරුණු ප‍්‍රශ්ණයක් නොවේ. එය තමන්ගේ ජීවිතවලට බලපාන හෝ යමිකිසි කම්පනයක් ඇතිකරවන තරම් ප‍්‍රබලත්වයක් නොඋසුලන බැවිනි. කෙසේ වෙතත්, මෙම සිනමා පට දෙකේ අවසානය පිළබඳව සලකා බැලීමේදී පවා, ප‍්‍රධාන චරිතය, මියෙන්නට පෙර ගතකරන අවසන් මොහොත පවා, සංජේ ලීලා බන්සාලී එය නියම හින්දි චිත‍්‍රපටයක් ලෙස ගීතයක් සමගින් අවසන් කර සියල්ලන් එකට බදාගෙන ගී ගයන දර්ශනයකින් අවසන් කර, එහි ඇති තිබූ  සියළු සංවේදීතාවයන්, සංවේදනවාන් මරා දමා ඇති අතරම, Mar adentro (The sea inside) සිනමාපටය දවස් ගණනක් යනතුරු හුස්ම ගන්නට නොහැකි අමරණීය මොහොතක් සහ කම්පනයක් අප හදවත් තුළ නිර්මාණය කරමින් තම වීරයා මරා දමයි.

ප:ලි   Alejandro Amenábar  ගේ Mar adentro (The sea inside) සිනමා පටය මා බලා නොතිබුණා නම්, සංජේ ලීලා බන්සාලී ගේ  “Guzaarish”  සිනමාපටය මට පවා මාර සිනමාපටයක් ලෙස හැ​ගෙන්නට ඉඩ තිබූ බවත් කිව යුතුමය. ඕනෑම දෙයක් ලෙස පුළුල්ව බැලිය හැක්කේ අප ලෝකයට වඩාත් විවර වන තරමටම පමණි.

 

 

 

 

 

 

 

 

 

 

Mar adentro (The sea inside)

චිලියානු ජාතික සිනමාකරුවකු වන Alejandro Amenábar විසින් Ramón Sampedro  ගේ ජීවිතය අළලා තැනූ මෙම චිත‍්‍රපටය 77 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ දී, හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ හොඳම වේෂ නිරූපණය සඳහා වන සම්මානය දිනාගත් අතරම, ලොව පුරා සම්මාන උළෙවල් රැසක් නියෝජනය කරමින් සම්මාන 60 ක් දිනාගන්නටත් සම්මාන 30 ක් සඳහා නාම යෝජනා වීමටත් සමත් උනා.

Advertisements