(නිලාර් එන් කාසිම් විසින් පරිවර්තනය කරන ලද “සහෝදර පියාපත්” කාව්‍ය සංග්‍රහය දෙස නැවත හැරී බැලීමක්)
මේ කාලයේ කවි ගැන හැමතැනම කතාවෙනවා. විශේෂයෙන් ෆේස් බුක් එකේ. ඊට අමතරව, සෑහෙන්න පිරිසක් කවි ලියනවා. ඒ සම්බන්ධයෙන් වාද විවාදයන් ඇති වෙනවා. කවියේ කවීත්වය පිළිබඳව සහ කවිය යනු කුමක්ද? කවියේ අයිතිකරුවන් කවුද? කවි ලියන්නේ කෙසේද? මේවත් කවිද? වැනි විවිධ මතවාදයන් ෆේස්බුක් එක හරහා, වෙනත් වෙබ් අඩවි හරහා සහ සම්මන්ත‍්‍රණ, වැඩමුළු, සහ පුවත්පත් වලින් බොහේ දේ ප‍්‍රකාශ වෙනවා. නමුත් මේ හැමෝම කතා කරන්නේ සහ කතාවෙන්නේ සිංහල කවිය සම්බන්ධයෙන් විතරයි. දෙමළ භාෂාවෙන් ලියවෙන, දෙමළ සහ මුස්ලිම් කවීන්ගේ කවි ගැන කිසිවෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ. තවමත්, අපි ඔවුන්ව මගහැරල තමයි අපේ ගමන යන්නේ. බොහෝවිට අපි අපේ අභ්‍යාන්තරයේ කැකෑරෙන අදහස් කවියක් හෝ යම් නිර්මාණයක් මගින් ප‍්‍රකාශ කරල එලියට දානවා. ඒ මගින්, අපිට එකිනෙකාව තේරුම්ගන්න පහසුවෙනවා. එතකොට අපි දන්නවා ඒ පුද්ගලයාගේ මනෝභාවයන් මොනවද, ඒ පුද්ගලයින් ඉන්නේ මොන වගේ පීඩනයකද, ඔවුන්ගේ අරමුණු මොනවාද, ඔවුන්ගේ ප‍්‍රශ්ණ මොනවාද, ආදී වශයෙන් බොහෝ දේවල්. නිලාර් එන් කාසිම් විසින් පරිවර්තිත දෙමළ කවීන්ගේ කවි ඇතුළත් ‘සහෝදර පියාපත්’ ගැන නැවත වරක් මතක් කිරීමක් කරන්නට මට හිතුණේ ඒ හින්දා. සහ ඒ කවි කියැවීමේදී ම අපට දැනෙනවා ඔවුන්ගෙ කවි මගෙහි ඇති ප‍්‍රබලත්වය. ‘සහෝදර පියාපත් ’ මුද්‍රණය වුනේ 2006 අවුරුද්දේ. ‘සහෝදර පියාපත්’ තුළින්, ඒ කවි වලින් ඔවුන් පිටකළ වේදනාව දෙමළ කවි කියවා නැති සහ කියවන්නට භාෂාව දන්නෙ නැති අති බහුතරයක් වූ සැමට විඳින්නට සැලැස්වීම ඇත්තටම අගය කළ යුත්තක්. ‘සහෝදර පියාපත්’ පෙරවදනේ සිට, කවි පොත අවසානය දක්වා කියවාගෙන යෑමේදී දැනෙන කම්පනය ඉතා බරපතලයි. එයට හේතු සාධක වන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි, අපි මෙතෙක් නොදැන, ඇස් කන් වසා සිටි උතුරු නැගෙනහිර දෙමළ ජන සමාජය පෙරළු ඒ කුරිරු යුද්ධයෙන් බැට කන සාමාන්‍ය ජනතාවගේ සිතැගි සහ වේදනාවන් මනා ලෙස මේ කවීන් අතින් නිර්මාණය වී තිබීමයි. හුදෙකලාවීම, අපේක්ෂා භංගත්වය, පීඩනය, මරණය සහ මරබිය, මේ සියළු ආතතියන්ගෙන් බැට කෑ ජනතාවකගේ සැබෑම හද ගැස්ම මේ කවීන් වෙතින් එළියට ඇද දමා තිබීමයි. දෙවන කම්පනය නම් මේ පොත සඳහා දායකවූවන් පිළිබඳ හැගීමයි. දෙවෙනි කාරණය පිළිබඳ කතා කරන්නට මත්තෙන්, ‘සහෝදර පියාපත්’ කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත් කවි කිහිපයක් මෙහි උපුටා දක්වන්නේ, තවමත් එය කියවා නොමැති කෙනෙක් වෙත් නම්, ‘සහෝදර පියාපත්’ කෘතිය සොයාගෙන කියවීමට හෝ අවැසි ගින්දර සැපයීමටයි.
– තැති ගැන්ම –
ගලෙන් කළ නිවහනෙක
දොරවලට
පිටරටින් රැගෙන ආ
අගුළු දැමුවා උවද
පලක් වෙද?
වහින විට
ගෙයි පොළොව
නිතර තෙත බරිත වෙයි
වැහි වතුර කාන්දුව
අලූත් උළුකැට මැදින්
වැගිරෙද්දි
සුදු එළිය නිවී යයි
කුකුළු රැළ හඩ තලත්
අහෝ ඒ මුගටියන්
හිතක් පපුවක් නොමැති මුගටියන්
මරලතෝනිය මැදත්
කුරිරු ලෙස රැගෙන යත්
කල්පනා කරන විට
දොර අරින්නද කියා
පපු කැවුත්තම දැවෙයි
බියසන්ව තැති ගැනෙයි
ඇවිත් යම දූතයන්
සන්කොට
ගිණි අවි අගිස්සෙන්
‘දොර අරින්නැයි’ කියා
රැගෙන යන වෙලාවක
වරුසාව පෑව්වත් ඵලක් වෙද?
බය බිරාන්තව තැති ගැනෙන
සුනු විසුනු වී වැටෙයි හදවත
තල් යාය
වෙලී ගින්නෙන් දැවෙයි
ඉපල් තල් අතු පුපුරු
සුළග හා පියාඹයි
සුළං සැඩ පරුෂ වී
හැපි හැපී කැරකැවෙයි
තල් ගස ප‍්‍රලය වෙයි
ඇද වැටුණොතින් එය
ගේ මත්තේ ?
පපු කැවුත්තම පත්තුවෙයි
(තා. රාමලිංගම්)
– බුදුන් ඝාතනය කිරීම –
බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම
රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ
‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති
‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය
දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත
(එම්. ඒ. නුහ්මාන් )
– සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක –
සුදු පරෙවියාගේ ආගමනය
අපේක්ෂාවෙන් සිටි විටෙක
මගේ මිදුලෙහි…
පළමුව පැමිණියේ උකුස්සෙකි
මගේ කුකුළු පැටවුන්
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්
අනතුරුව
රාජාලියෙක් ඇවිත් ලැග්ගේය
මගේ මිදුලෙහි පොල් ගසක් මත
මළ පහ කළේ ඌ ෂෙල් වෙඩිය
මගේ ගේ දොර
බිඳී විසිරී විනාශ විය
ජීවිතය පවා මට අහිමි විය
සරණාගතයෙක් වීමි
යළිදු මම
(එම්. ඒ. නුහ්මාන් )
– යුධ සමයේ රාති‍්‍රයේ පීඩනය –
යුධ සමයෙ
රාති‍්‍රය සමග එන පීඩනය
අපේ දරුවන්
අකාලයේ වියපත් කරනු ඇත
පුංචි කුරුල්ලන් බඳු ඔවුන්ගේ
සොඳුරු වූ උදෑසන බිඳ දමයි
මග හරස්කොට දමා ඇති
ලේ වැකුණු – මුහුණු නැති
මළ සිරුරු
ඔවුන්ගේ සිනා කෙළි කවට හඩ
තාප්ප බිත්ති පවා පුපුරවණ සුළුයි
ඉතින්
ඒ අපේ දරුවන්
දරුවන්ම නෙවෙයි මෙයින් මතු
තරු පිරුණු රැයේ
නිහඩ බව
තුවක්කුවක හඩින්
පිපිරවෙයි…
ළමා කතන්දර සියල්ලෙහි
හරි අරුත
මැරී වැටෙනු ඇත ඒ සමග
ඉතිරි වූ පුංචි දහවලෙහි
ඔවුහු
ළපටි තල් ඇට වලින් වේල් කරත්ත නොසාදති
තාච්චි නොපනිති
අමතක වී ගොස්ය
ළමා කෙළිදෙල
අනතුරුව
කඩුල්ල කලින්ම වහන්නත්
බල්ලන්ගේ
වෙනස්වන බිරුම් හඩ හඳුනාගන්නටත්
ප‍්‍රශ්ණ නොඅසාම ඉන්නටත්
ඇසූ ප‍්‍රශ්ණවලට පිළිතුරක් නැති කල්හි
නිහඩව කරබා ගන්නටත්
පුරුදු වෙති
දැන් ඔවුහු
බත් කූරන්ගෙ තටු දෙකම කඩාගෙන
පුළුස්සා සතුටුවෙති
කෝටු කැබලි තුවක්කු මෙන් මනාගෙන
සතුරන්ය සිතාගත් යහළුවන් මරා දා
සිනාසෙති
ඒ අපේ දරුවන්ගේ ළමා කෙළි සෙල්ලම්ය
යුධ සමයෙ
රාත‍්‍රිය සමග එන පීඩනය විසින්
අපේ දරුවන්
අකල්හිම වියපත් කර තිබේ.
(සිවරමණි)
මා මෙහි උපුටා දැක්වූවේ කවි කිහිපයක් පමණි. කවි 63 ක් පුරා දිවෙන මේ වේදනාත්මක සත්‍යය සැබැවින්ම මහා වේදනාවෙන් කෑ ගසන සමස්ථ දෙමළ ජන සමාජයම මොනවට විග‍්‍රහකර තිබේ. ‘සහෝදර පියාපත් ’ කරන්න දෙයක් නැතිකමට දෙමළ කවීන්ගේ කවි කිහිපයක් සිංහල බසට දැමීමක් නොව, ඉතා තදබල දේශපාලනික කර්තව්‍යයකි. විශේෂයෙන් සිංහල සමාජය ඉතා ජාතිවාදි ලෙස සියල්ල දෙස බලන්නට හුරු වී සිටි යුගයක දෙමළ කවි පිළිබඳව මෙසේ මැදිහත් වීම සැබැවින්ම ඒ කාලයේ දැවැන්ත කාර්යභාරයකි. නමුත්, කම්පා වන්නට තිබෙන වෙැන්න වන්නේද එයමයි. එය දැනගැනීමට අපි මේ ‘සහෝදර පියාපත්’ ආරම්භය දෙස මදක් විමසා බලමු. මේ කෘතියේ පෙර වදන ලියා තිබෙන්නේ රෝහිත භාෂණ සොයුරායි. ඔහු ඉතා තදබල ලෙසම දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් කි‍්‍රයා කළ, අතිශය කි‍්‍රයාකාරී පුද්ගලයෙකි. පෙරවදනේ ඔහු මෙම කෘතියට පාදක වූ අතීත කතාව ගෙනහැර දක්වයි.
‘ ලක්දිව පත‍්‍රයේ කර්තෘ මාණ්ඩලික කටයුතු ආරම්භ වූයේ 1991 නොවැම්බරයේදීය. ‘ලක්දිව’ කවි පිටුව සංස්කරණය සඳහා සුනිල් මාධව පේ‍්‍රමතිලක සහෝදරයාගේ කැඳවීමෙන් මා ලක්දිවට එක්වූයේ ඒ ආරම්භයේදීමය. නිලාර් ඒ වනවිට මාසිකව පළවූ ‘විවරණ’ ස`ගරාවේ සංස්කාරක කමිටුවට එක්ව සිටියේය. සංගෘහිත කොට පළ කෙරෙන නිලාර් ගේ ‘සහෝදර පියාපත්’ කෘතියට පසුබිම සකස්කරන ලද්දේ මෙකී ඓතිහාසික සිදුවීම් දාමයයි. අපි එකිනෙකා මුණගැසී ලක්දිව කවි පිටුව (නිම්තෙර) සඳහා අඛණ්ඩව දෙමළ කවීන්ගේ නිර්මාණ පරිවර්තනය කොට පළ කිරීමට කථිකා කළෙමු. තීරුව සඳහා සහෝදර පියාපත් නම යෝජනා කළේ මගේ මතකය අනුව ‘ලක්දිව’ එක්ව වැඩකළ අතීත දේශපාලන මිතුරකුව සිටි විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) සහෝදරයාය. පරිවර්තන පළකිරීම පිළිබඳ යෝජනාව ගෙන ආ නිලාර් උද්‍යෝගිමත් ලෙස ස්වකීය කාර්යය නොකඩවා සම්පූර්ණ කළේය.’
නිලාර් ගේ සමෝධානය තුළින් මේ කාර්යයට සම්බන්ධ වූ අනෙක් අය ගැන මෙසේ සඳහන් වෙයි.
‘සහෝදර පියාපත් එනමින් වන තීරුවක් ලෙස පළමුවෙන් පළවූයේ ලක්දිව (1992-1993) ලක්දිව මිතුරු සමාගම සොඳුරුය. සුනිල් මාධවගේත්, විනී හෙට්ටිගොඩගේත් කරතෘත්වයෙන් පළ වූ එම පුවත්පතෙහි ප‍්‍රවෘත්ති කර්තෘ වූයේ ඩලස් අලහප්පෙරුමයි. විමල් වීරවංශ (එවකට විමලසිරි ගම්ලත්), රෝහිත භාෂණ, සුදත් මහදිවුල්වැව, ධර්ම ශී‍්‍ර කාරියවසම්, සහ තිඹිරියාගම බණ්ඩාර ඇතුළු හිතවත්තුද එම සමාගමය තුළ සිටියහ. ඔවුහු නිරන්තරව ‘සහෝදර පියාපත්’ කතිකාව තුළ සිටියහ. එම නිර්මාණ සහෘදයා වෙත ගෙන යෑමට අත්වැලක් වූහ.’
දෙමළ ජන සමාජය දෙස මෙතරම් පුළුල් ඇසකින් සහ විවෘත මනසකින් බැලූ මෙවන් සුන්දර මිනිසුන්ට අද දවසේ අත්ව ඇති ඉරණම කුමක්ද? ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය සැබැවින්ම අගයකළ යුතුය. නමුත්, එවැනි මානවහිතවාදී, රුඩිකල් චරිත අද සිටින්නේ කොතනද? මා මුලින් සඳහන් කළ දෙවැනි කම්පනය වන්නේ මෙයයි.
අවාසනාවකට ‘සහෝදර පියාපත්’ කෘතිය පරිවර්තනය කළ නිලාර් එන් කාසීම් අද වනවිට ජාතික රූපවාහීනියේ ප‍්‍රබල නිලයක් දරමින් සිටියි. එහෙයින් දෙමළ ජනතාව ගැන හෝ වෙනත් මතයක් වෙනුවෙන් සමාජය තුළ පෙනී සිටීමේ ලයිසන් එක ඔහුට අහිමි වී ඇති හෙයින් භාතිය සන්තුෂ්ට හෝ අශාන්ති ට ගී ලියමින් සිටියි.
අවාසනාවකට ‘සහෝදර පියාපත්’ සම`ග ලක්දිව කවි පිටුව කළ සහ මෙම පොතේ පෙරවදන ලියූ රෝහිත භාෂන සහෝදරයාට රටින් පිටත ජීවත්වන්නට සිදු වී තිබේ. එහෙයින්, වෙනදා මෙන් ඔහුගේ හ`ඩ හෝ ඒ ‘හිරු’ එළිය අපට වැටෙන්නේ නැත.
අවාසනාවකට ‘සහෝදර පියාපත්’ නම යෝජනා කළ සහ දෙමළ ජනතාව වෙනුවෙන් මේ තරම් ගැඹුරු සංවාදතලයක ජීවත් වූ, විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මහතා වත්මන් රජයේ ප‍්‍රබලා (?) ඇමතිවරයෙක් බවට පත්වී අතිශය ජාතීවාදී අස්ථානයක් ගෙන සහෝදර පියාපත් ගලවා දමා ඇත.
අවාසනාවකට මෙම පුවත් පතේ සිටි පුවත් කර්තෘ සහ නිලාර් පවසන අන්දමට නිරන්තර සහෝදර පියාපත් සමාගමයෙහි සිටි ප‍්‍රබල රුඩිකල් චරිතයක් වූ ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම රජයේ ප‍්‍රබල (?) ඇමතිවරයෙක් බවට පත් වී යුද්ධයට පක්ෂපාතව දැනූ සාමයෙන් උද්දාම වී සිටියි.
අවාසනාවකට ඉතාම සුන්දර මිනිසකු ලෙස ප‍්‍රකටව සිටි, සුනිල් මාධව පේ‍්‍රමතිලක තිරයෙන් මැකී ගොස් තිබේ.
නමුත්, නිලාර් සහ පිරිස කළ ඒ අතීත ශ‍්‍රමයට පින්සිද්ධවන්නට, අද දවසේ අපට ‘සහෝදර පියාපත්’ ලැබී තිබේ. නිලාර් එන් කාසිම්, රෝහිත භාෂණ ලා එක්ව කළ එම කාර්යභාරය හේතුවෙන් දෙමළ කවියේ රුව ගුණ හෝ දැනගන්නට දෙමළ බස නොදන්නා නමුත් සහෝදර පියාපත් බෙදාගන්නට කැමති තවත් පිරිසකට අද දවසේ අවස්ථාව හිමි වී තිබේ. එහෙයින් ඔබ සැම සිදුකළ ඒ දේශපාලනික ඓතිහාසික කි‍්‍රයාවලියට ගරු කරන අතරම, අද දවසේ ඔබ සිටින තැන ගැන දැනෙන දැඩි කම්පනයෙන් සහ වේදනාවෙන් මෙසේ ලියා තබමි.
සොඳුරියේ….කාලය කෙතරම් නපුරුද?