Latest Entries »

අපි පුංචි කාලේ නිතරම වගේ අහන්න ලැබුණු අපූරු සිංදුවක් තිබුණා. ඒක ගායනා කළේ රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර. පද රචාන කරල තිබුණේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔබ බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයො ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

මේ ගීතය දැන් අහන්න ලැබෙන්නෙම නැහැ. ඒ හින්දා මෑත පරම්පරාවේ අය මේ ගීතය අහල තියනවද කියල මම දන්නෙත් නෑ. නමුත් මේ ගීතය මට අහම්බෙන් වගේ මතක්උනා. පද ටික තාම මතකයේ තිබුණා. ඒ ටික හිතින් කියවගෙන යනකොට මට තේරුණා මේ ගීතය කොයි තරම් සර්වකාලීන ගීතයක් ද කියලා. අනිත් කාරණේ තමයි, එදාටත් වඩා අද දවසේ අපේ සමාජයට වැඩිපුරම ගැළපෙන ගීතයක් මේක. ඒ මෙන්න මේ කාරණේ හින්දා. අද දවසේ හැමෝම අහන එකම ප‍්‍රශ්ණය තමයි මේ..

දුක සේ සිටුවා අඹ ඇටයක් අද, එක අඹයක්වත් කන්න ලැබේවිද..?

අද දවසේ අපි ජීවත්වෙන්නේ පරිභෝජනවාදය පමණක්ම මුල්කරගෙන. ඒ නිසා, කවුරුවත් කැමති නැහැ තමන්ට වාසියක් නොලැබෙන වැඩකට අත ගහන්න. හැමෝම වැඩකට බහිනව නම් බහින්නේ, ඒකෙන් තමන්ට අත්වෙන වාසිය ගැන පළමුවෙන්ම හිතලා. ඒ වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කරන්න වෙනවද කියයල කාරණේ හොයල බලල විතරයි. ඒ නිසා, ‘දුක සේ අඹ ඇට සිටුවන’ අය අද දවසේ හරිම අඩුයි. පරාර්ථය ගැන නොහිතන මේ වගේ ආත්මාර්ථය උදෙසාම පමණක වැඩකරන මිනිස් සමාජයක ඒ තත්ත්වය අනිවර්යයි.

නමුත්, ප‍්‍රශ්ණෙ තියෙන්නෙ එතන නෙමෙයි. අඩු තරමින්, අතීතයේ යම් කිසි කාර්යභාරයක් කරන විට, ඒ පිළිබඳව සවිඥාණිකව, ඒ ගැන සොයාබලන, විමසන පිරිසක් හෝ ඒ කාර්යය හා බද්දධව පිටුපසින් සිටියා. බොහෝදුරට, යම් කිසි සංවාදයකින්, පැහැදිලි කිරීමකින්, මත ගැටුමකින් පසු හෝ ඒ කාර්යයේ අගය වටහාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්නට එකතුවූ පිරිස් හිටියා. මේ වගේ ගීත බිහිවෙන්නේ අන්න ඒ සන්ධර්භය ඇතුළේ. නමුත් අද දවසේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානය කැප කරල වැඩ කරන පිරිස, අති මහත් බහුතර ජනතාවකට පේන්නේ හරියට ජෝක් එකක් වගේ. අඩු තරමින් මේ අය කරන්නේ මොනවද, ඒකෙන් සිදුවෙන්න පුළුවන් දේවල් මොනවද, කියලවත් අහන්න බලන්න තරම් වත් අපේ ජනතාව සුදානම් නැහැ. ඒ මොකද, මේක ගැන හොයන්න ගියොත්, තමන්ටත් අඹ ඇට සිටවන්න සිද්ධවෙයි, කියන බයට. ඒ හින්දා මේ අය කරන්නේ, පෙර පරම්පරාවේ කවුරු හෝ පැළකල, හොඳට ලොකුවට හැදිච්ච අඹ ගහක් උඩට වෙලා, ඉදිච්ච අඹ ගෙඩියක් කන ගමන් දැන් අඹ ඇට හිටවන පිරිසට හූ කියන එක තමයි. හූ කියල විතරක් නතරවෙන්නෙ නැහැ. අඹ ඇටවලිනුත් ගහනවා.

අද දවසේ අපි ජීවත්වෙන මේ වටපිටාව මෙසේ නිර්මාණය වීමම පවා අතීත කි‍්‍රයාවලියක ප‍්‍රථිපලයක් කියන එක හැමෝම ලේසියෙන් අමතක කරල දානවා. හැමෝ ජීවත්වෙන්නේ හරියට මේ සියල්ල  ඕපපාතිකව තමන්ට පහල උනා වගේ හැගීමකින්. අතීතයේ මේ වෙනුවෙන් සටන් කළ, ලේ හැළු, තම ජීවිතය සහ ශ‍්‍රමය කැපකළ පිරිසකගේ ජීවිත මතින් අද දවස අපට හිමි වී තිබෙන ජීවිතය, අපි හැමෝම ලේසියෙන්ම අමතක කරනවා. මොකද, එතකොට තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන්න ලේසියි. ඉතින් මේ අති බහුතර ජන සමාජය එක හඩින් කියන දෙයක් තමයි, ‘මේ වෙලාවේ අඹ ඇට හිටවන්න’ යන්න එපා, ඒක කිසි තේරුමක් නැති වැඩක් කියලා. ඒ සඳහා නොයෙක් සාධාරණ හේතුත් ඒ අයම හදල දෙනවා. මේ කාලේ පෑවිල්ල සැරයි. අඹ ඇට හිටවල වැඩක් නෑ, එතකොට හැමදාම වතුර දාන්නත් වෙයි. අනික, හැමතැනම නිදැල්ලේ අතැරල දාපු හරක්. හරක්ගෙන් පැළ බේරගන්න එකත් ලේසී නෑ. ? දවල් නැතුව මුර කරන්න වෙයි. එහෙම නැත්නම්, ඉඩමෙ අයිතිකාරයා අඹ ඇට හිටවනවට කැමති නෑ, ගුටි කන්න වෙයි වගේ කතා. ඇත්තම අර්ථයෙන් කියනවනම්, මේ හැමෝම කියන්න දගලන්නේ, මේ මොහොතේ පවතින යථාර්ථය එක්ක හැප්පෙන්න එපා, ඒක හරි කටුක ඒ වගේම මාරාන්තික කි‍්‍රියාවලියක්, ඒ නිසා අපි වගේ පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන තියනවනම් අනුන්ගෙ අඹයක් කාලා හරි නැත්නම් උඩබලාගෙන හරි ඉන්න කියලා. කාලය හැමදෙයක්ම විසඳල බන්දේසියක් උඩ තියාපු හොඳ අඹ ගෙඩියක් හෙට දවසේ අපට ලැබෙයි කියලා.
ඒත් මිනිසුන් නිකංම බලාගෙන ඉදීමෙන් පමණක් සිදුවෙන විපර්යාසය කුමක්ද? කාලය විසින් අපට ලබා දී තිබෙන විසඳුම් මොනවාද ? අපේ පෙර පරපුර, කලා කරුවන්, බුද්ධිමතුන්, සිවිල් සමාජයේ මහා චරිත, දේශපාලකයින්, පමණක් නොව සමස්ත ජනතාවම තමන්ගේ වැඩක් බලාගෙන කාලයට අවශ්‍ය දේ කරන්නට ඉඩ සැලසීමෙන් අද දවසේ අපට ඉතුරු වී තිබෙන්නේ කිනම් වට පිටාවක් ද?

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය තුළ සිදුකළ හැකි සහ සිදුකළ යුතු සමාජමය මැදිහත් වීමක් සහ යුතුකම් කොටසක් තියනවා. එය පසෙක දමා තමන්ගෙ සිහිනය තුළට වී ජීවත්ව සිටීමෙන් හෝ, අනුන්ගේ ගසකින් අඹ කඩාගෙන කන්නට බලා සිටීමෙන් සිදුවන්නේ, අපට පමණක් නොව, අපෙන් පසුව එන පරපුරටත්, අදටත් වඩා බියජනක, කාලකණ්නි සමාජ වටපිටාවක් උරුම වීම පමණයි. අද දවසේ පවතින ප‍්‍රශ්ණ දෙස වඩා පුළුල් අර්ථයකින් බලා ඒ වෙනුවෙන් අද දවසේ මැදිහත් විය යුත්තේ, එහි ප‍්‍රතිඵලය ඡුන්ද ප‍්‍රතිථලය මෙන් ඊට පසු දින වන විටම ලැබේයැයි සිතාගෙන නෙමෙයි. තල වැපුරුවොත් තල හා වී වැපුරුවොත් වී ලැබෙන්නා මෙන්ම, කිසිවක් නොකර නිකං සිටීමෙන් ලැබෙන්නේ හුළං පමණයි.

ලෝකේ කිසිදු වෙනස්කමක්, කිසිදු කි‍්‍රයාවලියක්, කිසිදු විප්ලවයක්, එක ඇසිල්ලකින්, දවසකින්, මාසයකින් සිදු උනේ නැහැ. උදාහරණයක් විදියට, රයටිස් සහෝදරයන් ගුවන් යානය හදන්නට පෙර, ඒ වෙනුවෙන් සිහින මැවූ, වෙහෙසුනු, විවිධ අත්හදාබැලීම් සිදුකළ, තමන්ගේ කාලය සහ ජීවිතය පවා කැප කළ බොහෝ අතීත කි‍්‍රයාවලියක් ඒ පිටුපස තියනවා. ඒක එහෙම නොවුනානම්, රයිට්ස් සහෝදරයන් ගුවන් යානය හදන්නේ නැහැ. ඒ පිළිබඳ අදහසක් එන්නේ නැහැ. ඒක අතීත කි‍්‍රයාවලියක් සහ අතීත ශ‍්‍රමයක අවසන් ප‍්‍රතිඵලයක්. එය එසේ නොඋනානම්, අහසින් යන එක අද දවසෙත් අපට හීනයක්. අද දවසේ අපි භුක්ති විඳිනා සෑම අංශු මාත‍්‍රයකම විශාල අතීත ශ‍්‍රමයක් සහ කැපකිරීම් සමුදායක් නිදන්ගතවෙලා තියනවා කියන එකට අද දවෙස් අපි පරිහරණය කරන ඇල්පෙනෙත්තේ සිට සියළු දේ හොඳම උදාහරණ. ඒ කාලෙත් රයිට්ස් සහෝදරයන්ට හිනාවෙච්ච මිනිස්සු ඉන්න ඇති. ඊට කලින් ඒ වෙනුවෙන් සිහින මැවූ මිනිස්සුන්ටත් තවත් අය හිනාවෙන්න ඇති. ඒත් එහෙම උනා කියලා, එක පාරක් දෙපාරක් වැඬේ ෆේල් උනා කියලා, වැඩේ අතැරලා දාන එක නෙමෙයි අපේ යුතුකම.
ඕනෑම ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට කැපකිරීම් සිදුකළ යුතුමයි. කැප කිරීමෙන්, මැදිහත් වීමෙන්, දායකවීමෙන් තොරව කවුරුන් හෝ වැඬේ කරදෙන තුරු බලා සිට සව්දිය පිරීමේ අලස සහ කපටි න්‍යායෙන් ඉවත් වී පොළවට බහින්න දැන් කාලය ඇවිල්ලා. මේ නිශ්චිත මොහොතේ ඔබ සමාජමය මැදිහත් වීමකින් කරනු ලබන ඉතාම කුඩා අංශුවේ සිට සෑම දෙයක්ම, අපේ අද දවසේ විතරක් නෙමෙයි, අපෙන් මතු පරපුරේත් අනාගතය පවා තීරණයවා. ඉතින් තම තමන්ගෙ තැන්වල ආතල් එකේ ඉඳගෙන, මෙන්න මේ අති දුෂ්කර මොහොතේ, පොළවට බැහැල මතු පරපුර වෙනුවෙන් අඹ ඇට සිටවන හැමෝගෙන්ම, අති බහුතරයක් අහන මෙන්න මේ දැවැන්ත ප‍්‍රශ්ණෙට..
‘දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..?’  කියන ප‍්‍රශ්ණෙට….

මට දෙන්න තියෙන්නෙත් මෙන්න මේ උත්තරේම තමයි.

මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි…

සන්ජේ ලීලා බන්සාලී ගේ අලූත්ම සිනමා නිර්මාණය වන  “Guzaarish”  සිනමා පටය මේ දිනව කොල්ලූපිටිය ‘ලිබර්ටි’ සිනමා ශාලාවේ ප‍්‍රදර්ශනය කෙරෙනවා. කවදත් හින්දි සිනමාවේ යමිකිසි අපූර්වත්යකින් සිනමා පට නිර්මාණය කරන  සංජේ ලීලා බන්සාලී අප වඩාත් හොඳින්ම හඳුනන්නේ ඔහුගේ වඩාත්ම ජනපි‍්‍රය වූ සහ සම්මාන රැසකට හිමිකම් කී   “Hum dil de chupke sanam”  “Devdaas”  “Black” වැනි සිනමා නිර්මාණයන් තුළිනි. එනිසාම, ඔහුගේ අලූත් නිර්මාණය බලන්නට මා ලිබර්ටි සිනමාහලට ගොඩවැදුනේ නොතිත් අසාවකින් සහ දැඩි නොඉවසිල්ලකින්. නමුත්,  ර්‍ණඨම “Guzaarish”  සිනමා පටය තුළින් සංජය ලීලා බන්සාලී, තමා මෙතුවක් පවත්වාගෙන ආ තම අස්ථානය බිඳගෙන ඇති සෙයකි. මෙම සිනමා පටයේ මුඛ්‍ය තේමාව නාභිගතවන්නේ එහි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන Hrithik Roshan   විසින් රංගන දායකත්වය සපයන   “Ethan mascarenhas”  චරිතය වටායි. ඔහු ලෝකප‍්‍රසිද්ධ ව සිටි මැජික් කරුවෙකි, නොඑසේනම් අංක එකේ මැජික් කරුවෙකි. මැජික් සංදර්ශනයක් අතරමගදී සිදුවන අනතුරකින් ඔහු අත පා සතර පණ නැති, සදාකාලික අබාධිත  “Quadriplegic”  තත්ත්වයට පත්වෙනවා. ඔහුට හැගීම් දැනීම් පවා නොදැනී යනවා. කළ හැකි එකම දෙය නම් කතා කිරීම සහ ඔලූව යාන්තමින් එහෙ මෙහෙ කිරීම පමණයි. වසර 12 ක් පුරා මේ කරුමක්කාර ජීවිතය ගෙවන ඔහුට සිය දිවි හානීකරගැනීමටවත් නොහැක්කේ, ශරීරයේ කිසිම අංගයක් පණ නොමැති නිසා. එනිසාම, කිසිවකුගේ උදව් ඇතිව, ස්ව කැමැත්තෙන් මිය යෑමට  “Euthanasia”  හැකිවන ලෙස උසාවියෙන් අවසර ගන්නට ඔහු උත්සාහ දරයි. ඒ සඳහා මුලින් ඉතා තදින් විරුද්ධ වී සිටි නමුත්, පසුව දැඩි සහයක් ලබා දෙන්නේ මෙම නඩුව වෙනුවෙන පෙනී සිටින ඔහුගේ හොඳම යෙහෙළියක් වන  “Divyani dutta”  ලෙස රගන Shernaz Patel  සහ  “Sofia D’Souza”  ලෙස රගන Aishwarya rai  යන කාන්තා චරිත දෙකයි. මේ චරිත දෙකම ඉතා තදින්  “Ethan Mascarenhas”   හට ආදරය කරයි. කතන්දරයම දිගහැරෙන්නේ මේ සිදුවීම් සහ චරිත වටාය. සිනමා පටය දිග හැරෙන්නේ  කතාන්දරයේ මැද සිටයි. ඉන්පසු එය අතීතාවලෝකනය සමග (FlashBacks)  සිනමා පටය ක‍්‍රමිකව ඉදිරියට ගලා යයි.

මෙම සිනමා පටය අපූරු සිනමාපටයක් ලෙස විඳින්නට හැකිවුවත්, එසේ නොහැකිවන්නේම මීට පෙර මෙම සිනමා පටයේ අනුභූතියම වූ ස්ව කැමැත්තෙන් පුද්ගලයකුට මිය යෑමට ඇති අයිතිය, (Euthanasia)  අනුභූතිය කරගත් වෙනත් චිත‍්‍රපට බිහි වී තිබීම නිසා නොවේ. මෙම චිත‍්‍රපටය එලෙසින්ම වෙනත් රටක බිහි වී තිබීම නිසාය. එලෙසින්ම යනුවෙන් මා අදහස් කළේ “Guzaarish”  චිත‍්‍රපටය සැබැවින්ම එම චිත‍්‍රපටයේ කොපියක් වීමයි. නමුත් අවාසනාවකට මා මුලින් සඳහන් කළ, එනම් 2004 වසරේදී නිශ්පාදන වූ, Mar adentro (English title: The Sea Inside) නම් ස්පාඥ්ඥ චිත‍්‍රපටයට අලගු තබන්නටවත්  “Guzaarish” චිත‍්‍රපටය සමත් වී නැත. සංජේ ලීලා බන්සාලී තම චිත‍්‍රපටයට දායක කරගන්නේ මැජික් කරුවෙකි. එමගින් ඔහු අපට චිත‍්‍රපටයේ අතීතාවලෝකනය තුළින් අපූරු මැජික් සහ ලස්සන පසුතල නිර්මාණ, ආලෝකකරණයෙන් විචිත‍්‍රවත් අපූරු වින්දනයක් ලබා දෙන බව සැබැවි. මෙහි එන මැජික් කරුවා වෙනුවට අප ඉහල සඳහන් කළ ස්පාඥ්ඥ සිනමාපටය වන “Mar adentro”  සිනමා පටය කේනද්‍රගතවන්නේ සැබෑම ජීවන අත්දැකීමක් සහ සැබෑම චරිතයක් වටා. ඔහු මැජික් කරුවෙක් නොව, කිමිදුම් කරුවෙකි. ඒ එහෙයින්ම එය විශ්වසනීයත්වෙයන් අනූනයි. සහ එහි තාත්විකත්වය සහ අතිශය සියුම් හැගීම් ඉදිරිපත්කරන ආකාරය අතිශය හද දවන සුළුය.
Ramón Sampedro (Real man who faced it)Mar adentro (The Sea Inside)  සිනමා පටයට හේතු සාධව වූ Ramón Sampedro  නැමැති චරිතය නාවික ධීවරයෙක්. ඔහු උඩ සිට මුහුදට පැනීමේදී ඇතිවන අනතුරකින් අත පය සතර පණ නැති සදාකාලික අබාධිත “Quadriplegic” තත්ත්වයට  පත්වෙයි. ඒ ඔහුට වයස අවුරුදු 25 දී. එතැන් පටන් වසර 29 ක් තිස්සේ ඔහු තවකෙකුගේ සහාය ඇතිව සියදිවි හානීකරගැනීමේ අයිතිය වෙනුවෙන්, නොතිත් අරගලයක නිරත වෙනවා. පළමුව ස්පාඥ්ඥ උසාවියේ නීතිමය එකගතාවය ගැනීමට ගෙන යන මේ අරගලය, ජනතාව අතර මහා කතිකාවක් බවට පත් වී, විශාල ජන සහයෝගයක් ඔහුට ලැබෙනවා. පසුව මෙය ලොව පුරා පවා ප‍්‍රචලිතවෙන මහා අරගලයක් දක්වා දිය යනවා. තමන්ගේ තීරණයට පක්ෂව, එහි නෛතිකභාවය ලබාගැනීමට නොහැකි වූ නමුත්, ඔහු 1998 දී පොටෑසියම් සයනයිඞ් ශරීර ගත වී ඔහු මියයනවා. මේ සත්‍ය සිද්ධියේදී ඒ සඳහා ඔහුට උදව් කරන්නේ ද ඔහුගේ සමීපතම මිතුරියක් වන Ramona Maneiro. Sampedro ගේ මරණය  සම්බන්ධයෙන් ඇයව සැක පිට අත් අඩංගුවට ගන්නා නමුත්, ඔප්පු කළ හැකි ප‍්‍රබල සාක්ෂි නොමැති කමින් ඈ නිදහස් වෙනවා. වසර හතකට පසු ඇය රූපවාහීනි වැඩසටහනක දී පාපොච්චාරණය කරනවා, පොටෑසියම් සයනයිඞ් වතුරට දමා, උරා බොන්නට හැකිවන සේ බටයක් දමා ඇය ඔහුට ලබාදුන් බව, සහ ඔහුට තිබූ බලවත්ම ආදරය නිසා ඇය ඔහුට උදව්කල බව.
නමුත් මේ සත්‍ය සිද්ධිය ඇසුරින් බිහිවන Mar adentro (The Sea Inside) චිත‍්‍රපටය මෙම සත්‍ය සිද්ධිය ගෙඩි පිටින් නොගෙන් ඉතාමත් හැගීම් දනවන සුළු, අති විශිෂ්ට සිනමා නිර්මාණයක් බවට පත්කර තිබෙනවා. එමගින් ඇතිකරන කම්පනය සහ සියුම් මනෝභාවයන් සංජේ ලීලා බන්සාලීට නම් කෙසේවත් හමු වී නොමැති බව අවිවාදිතයි. Ramón Sampedro  ගේ චරිතය රගපාන දැනට ස්පාඥ්ඥ බසින් නිපදවන සිනමාපටවල සිටින විශිෂ්ටම නළුවකු වන Javier Bardem,  මේ චරිතය තුළ ජීවත්වන අන්දම අති විශිෂ්ටයි. ඔහු Ramón Sampedro ගේ මනෝභාවයන් සහ එම චිත‍්‍රපටය පුරා දිවෙන ආදරය, ජීවිතය, සහ මනෝ භංගත්වයේ පැතිකඩවල් ඔහු නිරූපනය කරන ආකාරය සංජේ ලීලා බන්සාලී ගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මෙන් සිය ගුණයක් විශාලයැයි කීවද වරදක් නැති තරම්. සංජේ ලීලා බන්සාලී තමන්ට හිමි අපූරු සිනාම ශෛලිය තමන්ගේ මෙම “Guzaarish” සිනමා පටයේත් මනාව යොදාගෙන තිබෙනවා. පසුතල නිර්මාණ, ආලෝක කරණය, කැමරා කෝණ සහ කැමරාකරණය ප‍්‍රශස්ත ලෙස යොදාගෙන තිබෙනවා. තරමක් ස්පාඥ්ඥ උරුවක් ගන්නට දෝ, නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම්වල සිට  ඔවුන් ජීවත්වන විශාල මන්දිරයත්, වට පිටාව සහ සිනමා පටයේ සංගීතයත් සකස් කර තිබෙන නමුත්, එයින් චිත‍්‍රපටයට සාධාරණයක් හෝ විශ්වාසනීයත්වයක් හිමිවන්නේ නැහැ. අය්ශ්වර්යා වැනි ප‍්‍රබල නිලියකගෙන් ගත යුතු උපරිම දායකත්වය ගෙන නොමැති අතරම, ඇගේ චරිතය නිකන්ම නිකං ‘සාත්තු සේවිකාවක්’ ලෙස අවසානය තෙක් ඇදී යයි. මා කලින් සඳහන් කළ චිත‍්‍රපටයේ ආදරය වෙනුවෙන් එම කාන්තාවන් දෙදෙනා ගෙන යන අරගලය සහ ඔවුන්ගේ චිත්ත පීඩාව, මනෝභාවයන් ඉතා සියුම්ව ඉදිරිපත් කර ඇති නමුත්, මේ චිත‍්‍රපටයේ කිසිඳු චරිතයක එවැනි සියුම් තැන් ඉස්මතුවෙන ප‍්‍රබල චරිත නිරූපණයක් දක්නට ලැබෙන්නෙ නැහැ. අනෙක් කාරණය වන්නේ, මෙහි ඇති මැජික් සංදර්ශණ සහ ගීත කිහිපය නොවන්නට මෙය ඉතාම දුර්වල, බලාසිටින්නට පවා නොහැකි අලස සිනමා නිර්මාණයක් වනවා නිසැකය. Mar adentro  චිත‍්‍රපටයේ අතිශය ප‍්‍රබල දර්ශනයක් වන්නේ, Ramón Sampedro  ගේ අවසන් මුහුදු පැනීමයි. ඔහු උඩ සිට පහලට පනින එම දර්ශනය සහ දිය යටින් පෙන්වන ඔහුගේ හිස බිම වැදී ඔහු අඩපණ වන දර්ශණය මෙම චිත‍්‍රපටයේ අතිශය ප‍්‍රබල සන්ධිස්ථානයක්. එමෙන්ම අධ්‍යක්ෂකවරයා තමාගේ එම හොඳම දර්ශණය උපරිම ලෙස චිත‍්‍රපටය පුරාම විවිධ සංඥාර්ථ සපයමින්, යොදාගෙන තිබේ. සංජේ ලීලා බන්සාලී ද තම ප‍්‍රධාන චරිතය, ඉහල සිට වතුර ටැංකියක් තුළට වැටෙන්නට සලස්වා එහ දර්ශනයට ඉතා ළගින් යන දර්ශනයකට උත්සාහ දරා ඇති බව පෙනුනත් ඔහු එයින් ගන්නා වැඩ කොටස ඉතාම අල්පයි. අනෙක් කාරණය වන්නේ මෙයම සිනමා පටය  ඉන්දියාව තුළ හෝ ලංකාව තුළ කොයිතරම් දුරට සාර්ථකත්වයක් අත් කරගනීදැයි යන කරුණයි. එයට හේතුව වන්නේ, අපේ රටේ මෙන්ම ඉන්දියානු ජනතාව පවා (බහුතරයක්) හින්දි සිනමා පටයකින් බලාපොරොත්තු වන අන්ත දෙකම මේ තුළින් ගිලිහී ගොස් තිබීමයි. එක්කෝ, මෙය ‘දේව්දාස්’ වර්ගයේ අතිශය රොමෑන්ටික්, ඇඩෙන නිර්මාණයක් විය යුතුයි. නැතිනම් මනි රත්නම් ගේ සිනමා පටයක් මෙන් ජනතාවට දැනෙන සැබෑ කරුණක් මත නිපදවෙන එහෙත්, අපූරු රස වින්දනයක් ලැබෙන සිනමා නිර්මාණයක් විය යුතුයි. “Guzaarish”  හි කතා සංකල්පය වන, ස්ව කැමැත්තෙන් මිය යෑම (Euthanasia)  පිළිබඳ සංකල්පය හෝ ඒ වෙනුවෙන් සටන් කළ යුතුයි යන හැගීම හෝ ලංකාව ප‍්‍රමුඛ ආසියාතික රටවලට එතරම් දරුණු ප‍්‍රශ්ණයක් නොවේ. එය තමන්ගේ ජීවිතවලට බලපාන හෝ යමිකිසි කම්පනයක් ඇතිකරවන තරම් ප‍්‍රබලත්වයක් නොඋසුලන බැවිනි. කෙසේ වෙතත්, මෙම සිනමා පට දෙකේ අවසානය පිළබඳව සලකා බැලීමේදී පවා, ප‍්‍රධාන චරිතය, මියෙන්නට පෙර ගතකරන අවසන් මොහොත පවා, සංජේ ලීලා බන්සාලී එය නියම හින්දි චිත‍්‍රපටයක් ලෙස ගීතයක් සමගින් අවසන් කර සියල්ලන් එකට බදාගෙන ගී ගයන දර්ශනයකින් අවසන් කර, එහි ඇති තිබූ  සියළු සංවේදීතාවයන්, සංවේදනවාන් මරා දමා ඇති අතරම, Mar adentro (The sea inside) සිනමාපටය දවස් ගණනක් යනතුරු හුස්ම ගන්නට නොහැකි අමරණීය මොහොතක් සහ කම්පනයක් අප හදවත් තුළ නිර්මාණය කරමින් තම වීරයා මරා දමයි.

ප:ලි   Alejandro Amenábar  ගේ Mar adentro (The sea inside) සිනමා පටය මා බලා නොතිබුණා නම්, සංජේ ලීලා බන්සාලී ගේ  “Guzaarish”  සිනමාපටය මට පවා මාර සිනමාපටයක් ලෙස හැ​ගෙන්නට ඉඩ තිබූ බවත් කිව යුතුමය. ඕනෑම දෙයක් ලෙස පුළුල්ව බැලිය හැක්කේ අප ලෝකයට වඩාත් විවර වන තරමටම පමණි.

 

 

 

 

 

 

 

 

 

 

Mar adentro (The sea inside)

චිලියානු ජාතික සිනමාකරුවකු වන Alejandro Amenábar විසින් Ramón Sampedro  ගේ ජීවිතය අළලා තැනූ මෙම චිත‍්‍රපටය 77 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ දී, හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ හොඳම වේෂ නිරූපණය සඳහා වන සම්මානය දිනාගත් අතරම, ලොව පුරා සම්මාන උළෙවල් රැසක් නියෝජනය කරමින් සම්මාන 60 ක් දිනාගන්නටත් සම්මාන 30 ක් සඳහා නාම යෝජනා වීමටත් සමත් උනා.

(නිලාර් එන් කාසිම් විසින් පරිවර්තනය කරන ලද “සහෝදර පියාපත්” කාව්‍ය සංග්‍රහය​ දෙස නැවත හැරී බැලීමක්)

මේ කාලයේ කවි ගැන හැමතැනම කතාවෙනවා. විශේෂයෙන් ෆේස් බුක් එකේ. ඊට අමතරව, සෑහෙන්න පිරිසක් කවි ලියනවා. ඒ සම්බන්ධයෙන් වාද විවාදයන් ඇති වෙනවා. කවියේ කවීත්වය පිළිබඳව සහ කවිය යනු කුමක්ද? කවියේ අයිතිකරුවන් කවුද? කවි ලියන්නේ කෙසේද? මේවත් කවිද? වැනි විවිධ මතවාදයන් ෆේස්බුක් එක හරහා, වෙනත් වෙබ් අඩවි හරහා සහ සම්මන්ත‍්‍රණ, වැඩමුළු, සහ පුවත්පත් වලින් බොහේ දේ ප‍්‍රකාශ වෙනවා. නමුත් මේ හැමෝම කතා කරන්නේ සහ කතාවෙන්නේ සිංහල කවිය සම්බන්ධයෙන් විතරයි. දෙමළ භාෂාවෙන් ලියවෙන, දෙමළ සහ මුස්ලිම් කවීන්ගේ කවි ගැන කිසිවෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ. තවමත්, අපි ඔවුන්ව මගහැරල තමයි අපේ ගමන යන්නේ. බොහෝවිට අපි අපේ අභ්‍යාන්තරයේ කැකෑරෙන අදහස් කවියක් හෝ යම් නිර්මාණයක් මගින් ප‍්‍රකාශ කරල එලියට දානවා. ඒ මගින්, අපිට එකිනෙකාව තේරුම්ගන්න පහසුවෙනවා. එතකොට අපි දන්නවා ඒ පුද්ගලයාගේ මනෝභාවයන් මොනවද, ඒ පුද්ගලයින් ඉන්නේ මොන වගේ පීඩනයකද, ඔවුන්ගේ අරමුණු මොනවාද, ඔවුන්ගේ ප‍්‍රශ්ණ මොනවාද, ආදී වශයෙන් බොහෝ දේවල්. නිලාර් එන් කාසිම් විසින් පරිවර්තිත දෙමළ කවීන්ගේ කවි ඇතුළත් ‘සහෝදර පියාපත්’ ගැන නැවත වරක් මතක් කිරීමක් කරන්නට මට හිතුණේ ඒ හින්දා. සහ ඒ කවි කියැවීමේදී ම අපට දැනෙනවා ඔවුන්ගෙ කවි මගෙහි ඇති ප‍්‍රබලත්වය. ‘සහෝදර පියාපත් ’ මුද්‍රණය වුනේ 2006 අවුරුද්දේ. ‘සහෝදර පියාපත්’ තුළින්, ඒ කවි වලින් ඔවුන් පිටකළ වේදනාව දෙමළ කවි කියවා නැති සහ කියවන්නට භාෂාව දන්නෙ නැති අති බහුතරයක් වූ සැමට විඳින්නට සැලැස්වීම ඇත්තටම අගය කළ යුත්තක්. ‘සහෝදර පියාපත්’ පෙරවදනේ සිට, කවි පොත අවසානය දක්වා කියවාගෙන යෑමේදී දැනෙන කම්පනය ඉතා බරපතලයි. එයට හේතු සාධක වන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි, අපි මෙතෙක් නොදැන, ඇස් කන් වසා සිටි උතුරු නැගෙනහිර දෙමළ ජන සමාජය පෙරළු ඒ කුරිරු යුද්ධයෙන් බැට කන සාමාන්‍ය ජනතාවගේ සිතැගි සහ වේදනාවන් මනා ලෙස මේ කවීන් අතින් නිර්මාණය වී තිබීමයි. හුදෙකලාවීම, අපේක්ෂා භංගත්වය, පීඩනය, මරණය සහ මරබිය, මේ සියළු ආතතියන්ගෙන් බැට කෑ ජනතාවකගේ සැබෑම හද ගැස්ම මේ කවීන් වෙතින් එළියට ඇද දමා තිබීමයි. දෙවන කම්පනය නම් මේ පොත සඳහා දායකවූවන් පිළිබඳ හැගීමයි. දෙවෙනි කාරණය පිළිබඳ කතා කරන්නට මත්තෙන්, ‘සහෝදර පියාපත්’ කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත් කවි කිහිපයක් මෙහි උපුටා දක්වන්නේ, තවමත් එය කියවා නොමැති කෙනෙක් වෙත් නම්, ‘සහෝදර පියාපත්’ කෘතිය සොයාගෙන කියවීමට හෝ අවැසි ගින්දර සැපයීමටයි.

– තැති ගැන්ම –

ගලෙන් කළ නිවහනෙක
දොරවලට
පිටරටින් රැගෙන ආ
අගුළු දැමුවා උවද
පලක් වෙද?

වහින විට
ගෙයි පොළොව
නිතර තෙත බරිත වෙයි
වැහි වතුර කාන්දුව
අලූත් උළුකැට මැදින්
වැගිරෙද්දි
සුදු එළිය නිවී යයි

කුකුළු රැළ හඩ තලත්
අහෝ ඒ මුගටියන්
හිතක් පපුවක් නොමැති මුගටියන්
මරලතෝනිය මැදත්
කුරිරු ලෙස රැගෙන යත්

කල්පනා කරන විට
දොර අරින්නද කියා
පපු කැවුත්තම දැවෙයි
බියසන්ව තැති ගැනෙයි

ඇවිත් යම දූතයන්
සන්කොට
ගිණි අවි අගිස්සෙන්
‘දොර අරින්නැයි’ කියා
රැගෙන යන වෙලාවක
වරුසාව පෑව්වත් ඵලක් වෙද?
බය බිරාන්තව තැති ගැනෙන
සුනු විසුනු වී වැටෙයි හදවත

තල් යාය
වෙලී ගින්නෙන් දැවෙයි
ඉපල් තල් අතු පුපුරු
සුළග හා පියාඹයි
සුළං සැඩ පරුෂ වී
හැපි හැපී කැරකැවෙයි
තල් ගස ප‍්‍රලය වෙයි
ඇද වැටුණොතින් එය
ගේ මත්තේ ?

පපු කැවුත්තම පත්තුවෙයි

(තා. රාමලිංගම්)

– බුදුන් ඝාතනය කිරීම –

බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම

රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ

‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති

‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය

දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත

(එම්. ඒ. නුහ්මාන් )

– සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය
අපේක්ෂාවෙන් සිටි විටෙක
මගේ මිදුලෙහි…

පළමුව පැමිණියේ උකුස්සෙකි
මගේ කුකුළු පැටවුන්
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්

අනතුරුව
රාජාලියෙක් ඇවිත් ලැග්ගේය
මගේ මිදුලෙහි පොල් ගසක් මත

මළ පහ කළේ ඌ ෂෙල් වෙඩිය
මගේ ගේ දොර
බිඳී විසිරී විනාශ විය
ජීවිතය පවා මට අහිමි විය
සරණාගතයෙක් වීමි
යළිදු මම

(එම්. ඒ. නුහ්මාන් )

– යුධ සමයේ රාති‍්‍රයේ පීඩනය

යුධ සමයෙ
රාති‍්‍රය සමග එන පීඩනය
අපේ දරුවන්
අකාලයේ වියපත් කරනු ඇත

පුංචි කුරුල්ලන් බඳු ඔවුන්ගේ
සොඳුරු වූ උදෑසන බිඳ දමයි
මග හරස්කොට දමා ඇති
ලේ වැකුණු – මුහුණු නැති
මළ සිරුරු

ඔවුන්ගේ සිනා කෙළි කවට හඩ
තාප්ප බිත්ති පවා පුපුරවණ සුළුයි
ඉතින්
ඒ අපේ දරුවන්
දරුවන්ම නෙවෙයි මෙයින් මතු

තරු පිරුණු රැයේ
නිහඩ බව
තුවක්කුවක හඩින්
පිපිරවෙයි…
ළමා කතන්දර සියල්ලෙහි
හරි අරුත
මැරී වැටෙනු ඇත ඒ සමග

ඉතිරි වූ පුංචි දහවලෙහි
ඔවුහු
ළපටි තල් ඇට වලින් වේල් කරත්ත නොසාදති
තාච්චි නොපනිති
අමතක වී ගොස්ය
ළමා කෙළිදෙල

අනතුරුව
කඩුල්ල කලින්ම වහන්නත්
බල්ලන්ගේ
වෙනස්වන බිරුම් හඩ හඳුනාගන්නටත්
ප‍්‍රශ්ණ නොඅසාම ඉන්නටත්
ඇසූ ප‍්‍රශ්ණවලට පිළිතුරක් නැති කල්හි
නිහඩව කරබා ගන්නටත්
පුරුදු වෙති

දැන් ඔවුහු
බත් කූරන්ගෙ තටු දෙකම කඩාගෙන
පුළුස්සා සතුටුවෙති
කෝටු කැබලි තුවක්කු මෙන් මනාගෙන
සතුරන්ය සිතාගත් යහළුවන් මරා දා
සිනාසෙති

ඒ අපේ දරුවන්ගේ ළමා කෙළි සෙල්ලම්ය

යුධ සමයෙ
රාත‍්‍රිය සමග එන පීඩනය විසින්
අපේ දරුවන්
අකල්හිම වියපත් කර තිබේ.

(සිවරමණි)

මා මෙහි උපුටා දැක්වූවේ කවි කිහිපයක් පමණි. කවි 63 ක් පුරා දිවෙන මේ වේදනාත්මක සත්‍යය සැබැවින්ම මහා වේදනාවෙන් කෑ ගසන සමස්ථ දෙමළ ජන සමාජයම මොනවට විග‍්‍රහකර තිබේ. ‘සහෝදර පියාපත් ’ කරන්න දෙයක් නැතිකමට දෙමළ කවීන්ගේ කවි කිහිපයක් සිංහල බසට දැමීමක් නොව, ඉතා තදබල දේශපාලනික කර්තව්‍යයකි. විශේෂයෙන් සිංහල සමාජය ඉතා ජාතිවාදි ලෙස සියල්ල දෙස බලන්නට හුරු වී සිටි යුගයක දෙමළ කවි පිළිබඳව මෙසේ මැදිහත් වීම සැබැවින්ම ඒ කාලයේ දැවැන්ත කාර්යභාරයකි. නමුත්, කම්පා වන්නට තිබෙන වෙැන්න වන්නේද එයමයි. එය දැනගැනීමට අපි මේ ‘සහෝදර පියාපත්’ ආරම්භය දෙස මදක් විමසා බලමු. මේ කෘතියේ පෙර වදන ලියා තිබෙන්නේ රෝහිත භාෂණ සොයුරායි. ඔහු ඉතා තදබල ලෙසම දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් කි‍්‍රයා කළ, අතිශය කි‍්‍රයාකාරී පුද්ගලයෙකි. පෙරවදනේ ඔහු මෙම කෘතියට පාදක වූ අතීත කතාව ගෙනහැර දක්වයි.

‘ ලක්දිව පත‍්‍රයේ කර්තෘ මාණ්ඩලික කටයුතු ආරම්භ වූයේ 1991 නොවැම්බරයේදීය. ‘ලක්දිව’ කවි පිටුව සංස්කරණය සඳහා සුනිල් මාධව පේ‍්‍රමතිලක සහෝදරයාගේ කැඳවීමෙන් මා ලක්දිවට එක්වූයේ ඒ ආරම්භයේදීමය. නිලාර් ඒ වනවිට මාසිකව පළවූ ‘විවරණ’ ස`ගරාවේ සංස්කාරක කමිටුවට එක්ව සිටියේය. සංගෘහිත කොට පළ කෙරෙන නිලාර් ගේ ‘සහෝදර පියාපත්’ කෘතියට පසුබිම සකස්කරන ලද්දේ මෙකී ඓතිහාසික සිදුවීම් දාමයයි. අපි එකිනෙකා මුණගැසී ලක්දිව කවි පිටුව (නිම්තෙර) සඳහා අඛණ්ඩව දෙමළ කවීන්ගේ නිර්මාණ පරිවර්තනය කොට පළ කිරීමට කථිකා කළෙමු. තීරුව සඳහා සහෝදර පියාපත් නම යෝජනා කළේ මගේ මතකය අනුව ‘ලක්දිව’ එක්ව වැඩකළ අතීත දේශපාලන මිතුරකුව සිටි විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) සහෝදරයාය. පරිවර්තන පළකිරීම පිළිබඳ යෝජනාව ගෙන ආ නිලාර් උද්‍යෝගිමත් ලෙස ස්වකීය කාර්යය නොකඩවා සම්පූර්ණ කළේය.’

නිලාර් ගේ සමෝධානය තුළින් මේ කාර්යයට සම්බන්ධ වූ අනෙක් අය ගැන මෙසේ සඳහන් වෙයි.

‘සහෝදර පියාපත් එනමින් වන තීරුවක් ලෙස පළමුවෙන් පළවූයේ ලක්දිව (1992-1993) ලක්දිව මිතුරු සමාගම සොඳුරුය. සුනිල් මාධවගේත්, විනී හෙට්ටිගොඩගේත් කරතෘත්වයෙන් පළ වූ එම පුවත්පතෙහි ප‍්‍රවෘත්ති කර්තෘ වූයේ ඩලස් අලහප්පෙරුමයි. විමල් වීරවංශ (එවකට විමලසිරි ගම්ලත්), රෝහිත භාෂණ, සුදත් මහදිවුල්වැව, ධර්ම ශී‍්‍ර කාරියවසම්, සහ තිඹිරියාගම බණ්ඩාර ඇතුළු හිතවත්තුද එම සමාගමය තුළ සිටියහ. ඔවුහු නිරන්තරව ‘සහෝදර පියාපත්’ කතිකාව තුළ සිටියහ. එම නිර්මාණ සහෘදයා වෙත ගෙන යෑමට අත්වැලක් වූහ.’

දෙමළ ජන සමාජය දෙස මෙතරම් පුළුල් ඇසකින් සහ විවෘත මනසකින් බැලූ මෙවන් සුන්දර මිනිසුන්ට අද දවසේ අත්ව ඇති ඉරණම කුමක්ද? ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය සැබැවින්ම අගයකළ යුතුය. නමුත්, එවැනි මානවහිතවාදී, රුඩිකල් චරිත අද සිටින්නේ කොතනද? මා මුලින් සඳහන් කළ දෙවැනි කම්පනය වන්නේ මෙයයි.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ කෘතිය පරිවර්තනය කළ නිලාර් එන් කාසීම් අද වනවිට ජාතික රූපවාහීනියේ ප‍්‍රබල නිලයක් දරමින් සිටියි. එහෙයින් දෙමළ ජනතාව ගැන හෝ වෙනත් මතයක් වෙනුවෙන් සමාජය තුළ පෙනී සිටීමේ ලයිසන් එක ඔහුට අහිමි වී ඇති හෙයින් භාතිය සන්තුෂ්ට හෝ අශාන්ති ට ගී ලියමින් සිටියි.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ සම`ග ලක්දිව කවි පිටුව කළ සහ මෙම පොතේ පෙරවදන ලියූ රෝහිත භාෂන සහෝදරයාට රටින් පිටත ජීවත්වන්නට සිදු වී තිබේ. එහෙයින්, වෙනදා මෙන් ඔහුගේ හ`ඩ හෝ ඒ ‘හිරු’ එළිය අපට වැටෙන්නේ නැත.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ නම යෝජනා කළ සහ දෙමළ ජනතාව වෙනුවෙන් මේ තරම් ගැඹුරු සංවාදතලයක ජීවත් වූ, විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මහතා වත්මන් රජයේ ප‍්‍රබලා (?) ඇමතිවරයෙක් බවට පත්වී අතිශය ජාතීවාදී අස්ථානයක් ගෙන සහෝදර පියාපත් ගලවා දමා ඇත.

අවාසනාවකට මෙම පුවත් පතේ සිටි පුවත් කර්තෘ සහ නිලාර් පවසන අන්දමට නිරන්තර සහෝදර පියාපත් සමාගමයෙහි සිටි ප‍්‍රබල රුඩිකල් චරිතයක් වූ ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම රජයේ ප‍්‍රබල (?) ඇමතිවරයෙක් බවට පත් වී යුද්ධයට පක්ෂපාතව දැනූ සාමයෙන් උද්දාම වී සිටියි.

අවාසනාවකට ඉතාම සුන්දර මිනිසකු ලෙස ප‍්‍රකටව සිටි, සුනිල් මාධව පේ‍්‍රමතිලක තිරයෙන් මැකී ගොස් තිබේ.

නමුත්, නිලාර් සහ පිරිස කළ ඒ අතීත ශ‍්‍රමයට පින්සිද්ධවන්නට, අද දවසේ අපට ‘සහෝදර පියාපත්’ ලැබී තිබේ. නිලාර් එන් කාසිම්, රෝහිත භාෂණ ලා එක්ව කළ එම කාර්යභාරය හේතුවෙන් දෙමළ කවියේ රුව ගුණ හෝ දැනගන්නට දෙමළ බස නොදන්නා නමුත් සහෝදර පියාපත් බෙදාගන්නට කැමති තවත් පිරිසකට අද දවසේ අවස්ථාව හිමි වී තිබේ. එහෙයින් ඔබ සැම සිදුකළ ඒ දේශපාලනික ඓතිහාසික කි‍්‍රයාවලියට ගරු කරන අතරම, අද දවසේ ඔබ සිටින තැන ගැන දැනෙන දැඩි කම්පනයෙන් සහ වේදනාවෙන් මෙසේ ලියා තබමි.

සොඳුරියේ….කාලය කෙතරම් නපුරුද?

 

 

 

 

 

 

 

 

 

 

නීරෝ
රෝමය නෙමෙයි මේ
ඔබ කොහෙද මේ මෙහේ?

යන යන තැන
බලන බලන තැන
නීරෝ ඔබ
මේ රටේ හැමතැනම
ඒත්
කෝ ඔබේ වීණාව?
වීණාව වයන්නත්
අලසද දැන් ඔබ..?

නීරෝ
යන්න ඔබ
රෝමය නෙමෙයි මේ
ගිණි ගත්තාට
මේ තරම් සැරට

ඊයේ රාති‍්‍රයේ  12 ට පමණ මා නිදන්නට යනවිට හදිසියේම මට මගේ පැරණි මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු සෑහෙන කාලයක් විදේශගත වී සිටි බව මා දැන සිටියත් අප අතර වැඩි කථාබහක් හෝ සමාගමයක් පැවතුනේ නැහැ. මා පුදුමයට පත්වූයේ ඔහු සෑහෙන කාලයකට පසු මට කථාකිරීම ගැනටත් වඩා, අවේලාවේ ඉතා හදිස්සියෙන්, කරදරයකින් මෙන් කථා කළ නිසා.

‘බුදු අම්මේ මාර කාලෙකින්නේ කථා කරේ. අනික මේ යක්කු ගස් යන වෙලාවේ? ඇයි මොකක්ද කාරණේ හදිස්සියක්ද?’ මම ඇහුවේ තරමක කුතුහලය මුසු හැගීමෙන්.
‘ඇයි ආරංචි නැද්ද?’ මිතුරා විමසුවේය. ‘මම හිතුවා උඹ දැනටමත් නිව්ස් එක දන්නවා ඇති කියලා’ ඔහු කී​වේය.
‘මොකක්ද ඔය ඔචිචර කලබල වෙන්න තරම් වෙලා තියෙන්නේ?’ මම ඇසුවෙමි.
‘ජැකා ට පිස්සු හැදිලා මචං’  ඔහු කිව්වේ තරමක වේදනාත්මක ස්වරයෙනි.
‘මොකාට පිස්සු හැදිල කියලද කිව්වේ’
‘ජැක්සන්ට බං අපේ ජැක්සන්ට’
‘මොන ජැක්සන්ද?  මටනං ඔය පරණ යාලූවන්ගේ නම්වත් මතක නෑ මචං.’
‘නෑ යකෝ මේ අපේ මහා කලාකරුවා ගැන මං කියන්නේ. අපේ ජැක්සන් ඇන්තනි.’
‘මේ අපේ ජැක්සන්ට? වෙන්න බෑ උඹට අමු කැවිලද කොහේද’ මම කීවෙම්.
‘හොඳයි උඹ විශ්වාස කරන්නේ නැහැනේ. මම ඇහින් දැක්ක හින්දනේ කියන්නේ. කොච්චර උනත් මචං අපි ඉස්සර මාර විදියට අගය කරපු ආස කරපු දක්ෂ මනුස්සයෙක්නේ. ඒකයි මම මේ වෙලාවෙම උඹට විස්තරේ කියන්න කථාකරේ. පව් බං, මට නං සංසාරේ කියලා හිතුණා.’
ඔහු කිව්වේ දැඩි වේදනාවක් මුසුවූ ස්වරයෙනි.
‘උඹට හොඳටම ෂුවර් ද?  මොකද උඹ කාලයක් ලංකාෙවි හිටියෙ නැති හින්දා වරද්දගෙනද දන්නෙ නැහැ.’
‘මට වරදින්නේ කොහොමද? මම මේ අද රූ ඉන්ටනෙට් එකෙන් ටී වී බලනකොට තමයි දැක්කේ.’
මට එකවරම සිනාගිය නමුත් මගේ මිතුරාට ඒ සිනහව එතරම් ඇල්ලූවෙ නැත. ඔහු තරමක් දැඩි ස්වරයෙන් කථාකරන්නට විය. ‘මචං කැත විදියට හිනාවෙන්න එපා. අපි කවුරුවත් හිතුවද ජීවිතේට ජැක්සන් වගේ මනුස්සයෙකුට පිස්සු හැදෙයි කියලා. කවුද දන්නේ හෙට අපිටත් පිස්සු හැදෙන්න පුලූවන්. එතකොටත් උඹ ඔහොම හිනාවෙනවද? උඹේ හිනාව සදාචාරාත්මක නෑ මචං.’

‘නෑ නෑ මම හිනාවුනේ ඒකට නෙමෙයි. උඹ කිව්වනේ දැක්කේ ටී වී එකෙන් කියලා. ඒකයි මට හිනාගියේ. ඒකනේ මම කිව්වේ නිකං කලබල වෙන්න එපා කියලා. උඹ ඔය කියන්නේ මහා සිංහලේ වංශකථාව බලල නේද? මිනිහට පිස්සු නෑ මචං ඒ හැටි.’
‘නෑ නෑ මහා සිංහලේ නෙමෙයි. මම ප‍්‍රංශෙ හිටියට නෙට් එකෙන් හැම සතියෙම ඒක බලනවා.’ ඔහු කිව්වේ තරමක් ජාතිකාභිමානයෙන් ඔදවැඞී ස්වරයෙනි.
‘ආ එහෙනං ඔය මැතිවරණ රුස්වීමිවල කථාකරනව බලල වෙන්න ඇති. නෙට් එකේ අප්ලෝඞ් කරල තියනව අම්බානකට’
‘නෑ මචං එහෙම එකක් නම් මම මෙච්චර කලබල වෙන්නෙ නැහැනේ.’
‘හරි හරි උඹ ඔය කියන්නේ අපේ සංස්ංකෘතිය ඉතිහාසය ගැන ටී වී චැනල් වල ජැක්සන් කථාකරන සංවාද අහගෙන ඉඳල නේද?’
‘උඹට පිස්සුද මචං. මේක වෙනම සීරියස් කේස් එකක්. ජෝක් එකකට ගන්න එපා. මිනිහට තදේටම පිස්සු. වැඩි එකක් තියා මිනිහ පැනල යයි කියල බයට හමු∞වෙ ඔෆිසර් කෙනෙක් ළග තියල තියෙන්නේ.’
ඒ කථාවෙන් මා මදක් ගැස්සී ගියේය.
‘හැබැයි මට තේරුණා යන විදියට මිනිහ නතරවෙන්නේ ඔතන තමයි කියලා. ඒත් මටනං තාම හිතාගන්න බැහැ ඔච්චර තදටම පිස්සුව ඔලූවට ගැහුවේ  කොහොමද කියලා?’
අනික ජැක්සන්ගේ හැටි දැක්කම දුකේ බෑ මචං. දන්නවනේ අපේ රටේ මිනිස්සුන්ට පිස්සෙක් අහුවුනාම කරන දේවල්.  මං හිතන්නේ මිනිහව අල්ලලා තට්ටෙත් ගාලාද කොහේද? කොහොමට හිටපු ගාම්භීර චරිතයක් ද?’
‘නිව්ස් වලටද පෙන්නුවේ?’ මම ඇසුවෙමි.
‘නෑ නෑ නිව්ස්වලට නෙමෙයි. මමත් අහම්බෙන් වගේ දැක්කේ. නැගෙනහිර පළාතේ කොහේදෝ ඈත පලාතක මුහුදක් අයිනේ තමයි හිටියේ.’
‘මුහුදක් අයිනේ?’
ඔව් එතන වෙරළ අයිනේ හැමොක් දෙකක් බැඳල තිබුණා. එකක හිටියේ මිනිහ පැනල යයි කියල බයට ආරක්ෂාවට දාපු හමුදාවේ ඔෆිසර්. ජැක්සන් හැමොක් එකේ හාන්සිවෙලා අහස දිහා බලාගෙන, මුහුදේ සද්දෙට වඩා සද්දෙන් කෑ ගහනවා.

‘මේක කුවේණි බිසවුන් වහන්සෙගෙ අඩවිය… අනේ විජය රජ්ජුරුවෝ බිසවුන්වහන්සේ පන්නල දැම්මනෙ දරු දෙන්නත් එක්ක. අනේ අපේ කුවේණි බිසවුන්නාන්සේ මහා හයියෙන් කෑ ගහල වැළපුණා. බිසවුන්වහන්සෙගේ වැළපිල්ල මේ ගහේ කොළේ තාම තියනවා. බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල මේ ලූණු මිශ‍්‍ර හුළගේ මුහුවෙලා තියෙනවා. මේ මහා හුළං කෝඩය කෑ ගහල අඩන්නේ නිකංම නිකං නෙමෙයි. ඒ වේදනවා ඒ වැළපිල්ල මේ හැම හුළං පාරක් එක්කම ගහගෙන ඇවිත් මගේ කණේ තියනවා. ඉතින් දෙය්යනේ කුවේණි බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල අහගෙන මං කොහොමද නිදහසේ නිදාගන්නේ? ඒත් මම නිදාගන්න එපායෑ. හෙට පාන්දරින්ම කුවේණි බිසවුන්නාන්සෙගෙ අඩවියෙ ඇවිදල අපේ අක් මුල් හොයන්නත් තියනවනේ.’

‘ඔන්න ඔය වගේ මහා විකාර කථා කියව කියව මිනිහ නින්දට ගියා. මට නම් මාර දුක්ක මචං දැනුනේ. බලපං මචං දක්ෂ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ.’
‘ඉතින් අර හමුදා​වේ ඔෆිසර් මොකුත්ම කළේ නැද්ද?’
‘එයා කියලා මොනව කරන්නද මචං. මිනිහත් එපාවෙලා වගේ ඔහේ මුහුද දිහා බලාගෙන හිටියා.
‘උඹට සීයට සීයක්ම ෂුවර්ද ඒ හිටියේ ජැක්සන්මයි කියලා?’ මම ඇසුවේ මදක් අන්ද මන්ද වූ ස්වරයෙනි.
‘මට හොඳටම ෂුවර්. ඇයි මතක නැද්ද අපි ඉස්සර මිනිහ ඉන්න වේදිකා නාට්‍ය බලන්න පැල් බැඳගෙනනෙ යන්නේ. ඇයි උඹත් ගියේ.’
‘ඔව් ඔව්. ඒ හින්දම තමයි මම අහන්නේ. උඹට ෂුවර්මද මේ හිටියේ අපි ඉස්සර ආදරේ කරපු ඒ ජැක්සන්මද කියලා.’
‘මටත් මුලින් සැකයක් තිබුණා. ඒත් වැඩසටහන ඉවරවුනාම මිනිහගේ නම දැම්මා. ඒකෙන් පස්සේ තමයි මට හොඳටම ෂුවර් වුණේ.’
‘ඔහොම තමයි මචං ජීවිත. මේ හොඳට ඉන්නවා මේ පිස්සු හැදෙනවා. වෙච්ච දේ වුණා. මොනවයි කියලා කරන්නද ඉතින්? මට දුක මිනිහ පැනල යයි කියල ආරක්ෂාවට දාලා ඉන්න ඔෆිසර් ගැන. තව කොච්චර කාලයක් ඔය වැ​ඩේ කරන්න වෙයිද දන්නෙ නැහැනේ. එහෙම වුණොත් ෂුවර් එකටම මිනිහටත් පිස්සු හැදෙනවා.’

කතාව අවසන් කර මගේ මිතුරා හොටු හූරන හඩ මට හොඳින්ම ඇසුණා. පසුගිය කාලය පුරාම ලංකාවේ සිටි මට මෙවන් සෑහෙන කලාකරුවන් පිරිසක් පිස්සු හදා ගනු දුටු නිසා, ඒ දුක දරාගැනීම මටනම් එතරම්ම අමාරුවූයේ නැත. නමුත් මහා කලාකරුවකුට සිදු වූ මේ මහා ඛේදවාචකය යම් තරමකට මා සිත සලිත කළේය. අතීතයේ සිටි ගාම්භීරව යුක්තිය වෙනුවෙන් පෙනී සිටී, කලාවෙන් දේශපාලනය කළ ඒ කළාකරුවාට සිදුවූ මෙවන් අකල් විපත් කිසිදු කලාකරුවකුට සිදු නොවේවා.

බිම් බෝම්බ සිටුවා
මූනිස්සම් වපුළ බිම
තවමත් එලෙසමය

ගිණිතබා දවා හළුකල
සියක් දහසක් සිහිනවල
උණු අළු
පොහොර විය ඒ පසටම

තවම නොවැටුණි බිමට
මහා වැස්සක්ව
තවමත් අහසේය
හඩන්නටවත් නොහැකිව
ඝණීභූත වූ
කඳුළු පිරි කළු වළාකුළු

හෙට වැසි වැටෙනකොට
එ බිම මත
සාමයේ මල් පිපේවිද
කොහොම..?

අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්. ඒකෙන් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අපි අත්සන් කරලයි තියෙන්නේ. ඒකට අත්සන් නොකර සංවිධානයේ සාමාජිකත්වය කිසිම රටකට හිමිවෙන්නේ නැහැ. එම ප‍්‍රඥප්තිය මගින් රටේ සහ රටේ ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව වගකියන්නට සහ සුරකින්නට  ඕනෑම පත්වෙන රජයක් බැඳී ඉන්නවා. එතකොට රජයකට හිතෙන හිතෙන විදියට මානව හිමිකම්වලට වැට බඳින්න බැහැ. මානව හිමිකම් උල්ලංඝනය කරන්නත් බැහැ. ඒත් මානව හිමිකම් කියන්නේ මොනවද කියල මෙලෝ මගුලක් නොදන්න කාටහරි තර්ක කරන්න පුළුවන් අපි මොකටද ඔය එක එක සංවිධාන වල කට්ටිය කියන විදියට වැඩ කරන්නේ මේක අපේ රටනේ කියලා. ඔව්, ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට බලෙන් ඇවිත් මේකට අත්සන් කරන්න කිව්වෙ නැහැ. මේක අපේ උවමානවට අපි විසින් අත්සන් කරපු දෙයක්. සහ එසේ අත්සන් කර තිබීම ඉතාම වැදගත් දෙයක්.

නමුත් ප‍්‍රශ්නෙ තියෙන්නේ, ඒ අදාළ ප‍්‍රඥප්තියට අදාළ මානව හිමිකම් අපේ ආණ්ඩුව විසින් රකිනවද? ඒ මානව හිමිකම් විඳගැනීමේ අයිතිය ජනතාවට ලැබෙනවද? කියන ප‍්‍රශ්ණේ. ඔව්, ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒ අයිතීන්ගෙන් දසමයක්වත් රකින්න ආණ්ඩුවට උවමානවකුත් නෑ. ඉතින් රජයක් මෙන්න මෙහෙම අත්තනෝමතිකව රට පාලනය කරනකොට ඇතිවෙන අහිතකර බලපෑම් නවත්තන්න තමයි මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන, ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන, රජයට බලපෑම් කරන, මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ සංවිධානයන් ඇතිවෙන්නේ. ඉතින් රජයකට මෙන්න මේ කියන මානව හිමිකම් සංවිධාන සහ කි‍්‍රයාකාරීන් හරිම හිසරදයක්. ඒ නිසා තමයි ආණ්ඩුව මානව හිමිකම් සංවිධාන සහ එහි කි‍්‍රයාධරයන්ට පන්න පන්නා පහරදෙන්නේ.  මොකද ඔවුන් හිටියෙ නැත්නම්  ඕනම ගේමක් ලස්සනට ගහල කිසි අවුලක් නැතුව ඉන්න පුලූවන්. මොකද ජනතාවට මේ ගැන කිසිම දැනීමකුත් නැහැ. ඒ නිසාම අවශ්‍යතාවයකුත් නැහැ.

මෙන්න මේ කාරණේ ගැන අපි යාලූවෝ කීපදෙනෙක් දවසක් කථාකරා. ඇත්තට මොකටද මේ මානව හිමිකම් ගැන කතා කරන, වැඩ කරන  පිරිස? රටේ මිනිස්සු මානව හිමිකම් කන්නද කියල අහන රටක, ඇයි මේ කීපදෙනෙක් විතරක් ජීවිතේ පරදුවට තියාගෙන මේ වෙනුවෙන් අරගල කරන්නේ, පෙනී සිටින්නේ, රජයත් එක්ක හැප්පෙන්නේ? මහ බොරු වැඩක්නේ. ඔව්, එහෙම හිතෙන එකේ එක අතකින් වැරැද්දක් නැහැ වගේ පේන්න පුලූවන්. මොකද හැමතැනම අප්සට් නේ. හැමතැනම අවුල්, හැමතැනම කුණුවෙලා. හැමතැනම මේ වැඩේ වෙනවා. හැමතැනම මානව හිමිකම් කඩවෙනවා. මිනිස්සු මරණවා, උස්සනවා, අතුරුදහන් කරනවා, හිතෙන හිතෙන වෙලාවට අත් අඩංගුවට ගන්නවා, හිරේ දානවා, ගහනවා, වද දෙනවා, ඒත් මිනිස්සු ඔහේ ඉන්නවා. මොකද මේක හරිම සාමාන්‍ය දෙයක්.  ඉතින් අපි මොනව කරත් වැඩක් නෑ. මොකද බහුතරයක් ඉන්නෙ මෙන්න මේ කුණුගොඩේ, ඒ හින්දා දැං ඒක ඒගොල්ලන්ට මේ ක‍්‍රමේ පත්තියම් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් ගානට පත්වෙලා ඉවරයි.

හැබැයි වැඩිදෙනෙක් එහෙම ජීවත්උනා කියලා, හැමෝම ඒ ගොඩටම වැටිලා නිකංම නිකං කරබාගෙන හිටියොත් මොකද වෙන්නේ. තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා, මේ කීපදෙනෙක් කරගෙන යන කාර්යබාරයෙන් වැඩක් නැහැ කියල හිතන කට්ටියට මට කියන්න හිතුණ පුංචි කතාවක්. ඒක අපි හැමෝම අහල තියන කථාවක්. මඝ මාණවකයාගෙ කතාව.

විශාලා මහනුවර සිටි මහාලී කියන ලිච්ඡුවී රජතුමා එක දවසක් බුදු හාමුදුරුවෝ මුණගැහෙන් ආවා. එහෙම ඇවිත් ඇහුවා දෙව්ලොවට අධිපති ශක‍්‍ර දෙවියන්ගේ උපත සහ ඔහු ලබන උසස් වූ දිව්‍ය සම්පත්තීන් ගැන. ඒ වෙලාවේ මහාලී කියන ලිච්ඡුවි රජු අරභයා, බුදුරජානන් වහන්සේ දේශනා කළ කථාවක් තමයි මේ මඝ මානවකයාගේ කථාව. ‘මගධ කියන රටේ, මචල කියන නියම් ගමක එක්තරා තරුණයෙක් ජීවත්උනා. ඔහුගේ නම තමයි මඝ. මේ මඝ මානවකයා හරිම ධෛර්යවන්ත හොඳ ගතිගුණ තියෙන තරුණයෙක්. දවසක් මේ මානවකයා, ගමේ පැවැත්වෙන සැණකෙලියක් බලන්න ගියා. ගිහින් තමන්ට නිදහසේ හොඳින් සැණකෙලිය බලන්න පුළුවන් වෙන්න එක්තරා තැනක් තෝරාගෙන එතන හොඳින් පිරිසිදු කරල හදාගත්තා. එතැන පිරිසිදු කරල හදාගත්තට පස්සේ වෙන මිනිහෙක් එතනට ඇවිත් මඝ මානවකයා එළවල දාලා ඒ තැන අයිති කරගත්තා. මොකද එතන පිරිසිදුයි, පහසුවෙන් සැණකෙලිය නරඹන්නත් පුළුවන්. ඊට පස්සේ මඝ මානවකයා වෙනත් තැනකට ගිහින්, එතැන පිරිසිදු කරගෙන අර වගේම ලස්සන තැනක් හදාගත්තා. ඒ හදාගත්ත තැනටත් තවත් මිනිහෙක් ඇවිත් මඝ එතනින් එළවල දාලා ඒ තැන අල්ලගත්තා. මඝ මානවකයා කල්පනා කරා, කමක් නැහැ මේක හොඳ පුණ්‍ය කර්මයක් කියලා. ඊට පස්සේ එයා තැන් කිහිපයක්ම තනියෙන්ම පිරිසිදු කරල, ලස්සනට හදල මිනිස්සුන්ට නවතින්න දුන්නා. ඒ විතරක් නෙමෙයි, මං මාවත් හදල ඒවා පිරිසිදු කරල තමාගේ ගම ලස්සන කරන්න පටන් ගත්තා. මඝ මානවකගේ මේ වැඩේ ගැන පැහැදුණු තවත් සුළු පිරිසක්, එනම් 33 දෙනෙක්ගෙන් සමන්විත තරුණ පිරිසක්, මඝ තරුණයා එක්ක එකතුවෙලා මේ වැඩේට සහයෝගය දුන්නා. නමුත් අපේ ලංකාවේ වෙනව වගේම, මේ වැඩේට කොක්ක දාපු පිරිසකුත් හිටියා. මොකද මේ ගොල්ලො කරන මේ වැඩේ හින්දා මචාල ගමේ ගම්භාර නිළධාරීන්ට ලැබෙන ලාබ ප‍්‍රයෝජන නැතිවෙන්න පටන් ගත්තා.ඔවුන්ගෙ බලය අහිමිවෙන්න පටන්ගත්තා. මේ ගොල්ලන්ට මේක බලාගෙන ඉන්න බැරිඋනා. මේ කීප දෙනෙක් එකතුවෙලා කරන මේ සමාජ සද්කාර්යය නිසා, වැඩේ නිසා මචව කියන ගමේ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඉතින් ගම්භාර නිළධාරී ටික එකතුවෙලා මේක නවත්තන්න විවිධ ක‍්‍රම සහ විධි කල්පනා කරා. එක්වරක්, මඝ මානවකයා සහ ඔහුට සහය දෙන අයව සුරාවට සූදුවට යොමුකරන්න උත්සාහ කළා. නමුත් ඒ උත්සාහය අසාර්ථක උනා. ඊට පස්සේ මඝ මානවකට සහ පිරිසට විවිධාකාරයේ බොරු චෝදනා ඉදිරිපත් කරලා, ඔවුන් නීතියෙන් යටපත් කරන්න හැදුවා. දස වධ දෙන්න සුදානම් උනා. නමුත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බැරි උනා. (කොච්චර අප්සට් තිබුණත් අඩු තරමින් මචාල ගමේ හොඳ අධිකරණ පද්ධතියක් හරි තිබිල තියෙනවා. නැත්නම් මඝ මානවක සහ පිරිස තවමත් හිරේ) ඒ හින්දා ඔවුන් නැවතත් එකතුවෙලා තමුන් කරගෙන ගිය වැඩ කොටස දිගටම කරගෙන ගියා. අන්තිමේ මචල ගම පිරිසිදු, රම්‍ය ගම්මානයක් බවට පත්උනා. ඉතින් මඝ මානවකයා අරඹපු අර කුඩා තැනින් ඔහු වැඩේ නතර කරල දැම්මනම්, මේ තත්ත්වේ උදාවෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට යම්කිසි පිරිසක් හෝ සහාය නොදුන්නානම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා.

ඉතින් මේ කතාවෙයි අපේ මානව හිමිකම් ගැන මුලින් කියූ කථාවෙයි කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ, මොකද, මේ රටත් දැන් කුණුවෙන්න අවශ්‍ය සියළුම ආකාර වලින් කුණුවෙලා ඉවරයි. නමුත් මිනිස්සු ඒ කුණු ගොඩේ කුණු කකා හරි ජීවත්වෙනවා. කවුරුවත් කැමති නැහැ, පෙරමුණ අරගෙන මඝ මානවකයා කරපු දේ කරන්න. එහෙම ඉදිරිපත් උනත් ඒ ඉදිරිපත් වෙන අයට සහයෝගයක් දෙන්නවත් කවුරුත් කැමති නැහැ. මොකද, ඒක ලොකු රිස්ක් එකක්. ඊට වඩා හොඳයි තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන හිටියම. අනිත් කාරණේ තමයි, එහෙම ඉදිරිපත් වෙලා, ලංකාව ජීවත්වීමට වඩාත් සුදුසු තැනක් බවට නිර්මාණය කරන්න හදනකොටම, අර මඝ මානවක කථාවේ වගේම ඒ නිසා තම වරප‍්‍රසාද සහ බලය අහිමිවෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ ගොල්ලොත් කරන්නේ, අර ගම්භාර නිළධාරීන් කරපු දේමයි. එක්කෝ යම්කිසි වරප‍්‍රසාද ලබා දීලා ඔවුන්ව තමන්ගෙ ඉත්තන් කරගන්නවා, එහෙම නැත්නම් බොරු චෝදනා දාලා කොහොම හරි වැඩේ නවත්තන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් දස වධ දෙනවා ලංකාවේ ඉන්න බැරිවෙන්නම. නැත්නම් ඉතින් ඉවරයක්ම කරනවා.

ඒත් අපි තදින් විශ්වාස කරන එක දෙයක් තියනවා. පිරිස සුළු වෙන්න පුළුවන්. වැඩි පිරිසක් මිනිස්සු වැඩේ එක්ක නැතිවෙන්නත් පුළුවන්. මානව හිමිකම් අපට කන්නද කියල මිනිස්සු අහන්නත් පුළුවන්, නමුත්, සුළුවෙන් හෝ එකින් එක හෝ අපි මානව හිමිකම් දිනාගත් දාට, ඒ මිහිරි අයිතිය භුක්ති විඳින්න මිනිස්සු රොඳ බැඳලා එකතුවෙනවා. මඝ මානවකයා තැනක් පිරිසිදු කරල හදල දෙනකං, මිනිස්සුන්ට එහෙම වැඩක් කිරීම මරු වැඩක් ලෙස පෙනුනෙ නෑ. සමහරවිට මිනිස්සු හිනාවෙන්නත් ඇති මඝ මානවකට, මොකක්ද මේ තනියම මැරීගෙන කරන විකාර වැඩේ කියලා. මොකද ඒ මිනිස්සු ඉන්නේ කැලේ. එහෙම නැත්නම්, කුණු ගොඩේ. එතකොට මිනිස්සුන්ට ලස්සන සහ කැත පිළිබඳව අදහසක් එන්නෙ නෑ. ඒත් තැනක් වෙන්කරල, ලස්සන කරල, ඉතා සුවපහසුවෙන් ජීවත්වෙන්න හැදුවට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා, අඬේ මේක මරු වැඩක්නේ කියලා. ඒ හින්දා, කවුරු මොනව කිව්වත්, මේ මානව හිමිකම් සම්බන්ධ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. මඝ කථාවේ ගම්භාර නිළධාරීන් වගේම අපේ ආණ්ඩුවත් මේ වැඬේට විරුද්ධ වෙන්නේ මේක ගැන නොදැන නෙමෙයි, දැනගෙන. ජනතාවටත් ඒ ගොල්ලො කියනව මෙන්න මේ මානව හිමිකම් කාරයෝ හින්ද අපට කෙළවනවා කියලා, එතකොට ජනතාවත් හිතනවා, මේ අපට කියන්නේ අපි හැමෝටම කියලා. නැහැ, මානව හිමිකම් තියෙන්නේ ජනතාවගේ ජීවිත වලට සුන්දරත්වයක් එක්කරන දෙයක් මිසක් කෙලවෙන දෙයක් නෙමෙයි. අපි තවම ජීවත්වෙනව කියන එකේ සැබෑ තේරුම දන්නේ නැහැ. මොකද අපි ඒ මිහිරි අයිතිය විඳල නැහැ. තමුන්ගේ මානව අයිතිවාසිකම් තේරුම් අරගෙන, ඒ නිදහස සැබෑ ලෙස භුක්ති විඳින්න ඉඩ ලැබුණු දවසට, මේ හැමෝම කථා කරාවී, අපරාදේ මෙච්චර කල් මේ කුණු ගොඩේ, කුණු පණුවො වගේ ජීවත්උනේ කියලා. ඒ හින්දා, දැනුවත් වෙන්න මානව හිමිකම් පිළිබඳව. තේරුම්  ගන්න තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතිවාසිකම්. කතා කරන්න ඒ ගැන. හැබැයි අපි අතින් ඉටුවිය යුතු යුතුකම් ගැනත් ඒ වගේම සවිඥාණික වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අපට අයිතිවාසිකම් දිනාගන්න බැහැ.

එන්න, අපි හැමෝම එකතුවෙලා මේක සුද්ද කරමු. අර මඝ මානවකා කළා වගේ එක තැනකින් පටන්ගමු. ටිකෙන් ටික මේක ලස්සන කරමු. ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න උත්සාහ කරමු. එක පාරට හැමදේම වෙනස් කරන්න බැරිඋනත්, තම තමන්ගෙ පැත්තෙන් මානව හිමිකම් ගැන දැනුවත් වෙලා, තමන්ගෙ යුතුකම් ගැන දැනුවත් වෙලා, ඒ යුතුකම් ඉටුකරමින්ම තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙලා ඒ වෙනුවෙන් පෙනී සිටින්න ගත්තොත්, අපටත් ජීවත්වීම කියන්නේ මොකද්ද කියල දැනෙන විදියට ජීවත්වෙන්න පුළුවන්. ‘නිදහස’ කියන අර්ථය සැබැවින්ම අර්ථ ගැන්වෙන අපූරු රටක් පිළිබඳ මිහිරි සිහිනය යථාර්ථයක් කරගන්නත් පුළුවන්.

(විශේෂ ස්තූතිය – මඝ මානවක කථාවේ කරුණු සපයා දුන් පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමියන්ට)

 

හෙවනැල්ල
ඔබ යන්න ඉදිරියෙන් මට
නැතිනම් සමාන්තරවම
මා සමග
හරි හරියට

පසුපසින් එන කිසිවෙක්
විශ්වාස නැහැ
දැන් මට
මේ අවිශ්වාසයේ කාලයයි
ජුදාස්ගේ ද්වීපයයි
එකට එක ළගින් හිඳ
දිය යටින්
ගිණි තබන්නන්ගේ දේශයයි

හෙවනැල්ල
ඔබ යන්න හෙමිහිට
බිඳක් හෝ ඉදිරියෙන් මට
අතනොහැර
ගමන් සගයව
තනියට

 

fyjke,a,

Tn hkak bÈßfhka ug

ke;skï iudka;rju

ud iu`.

yß yßhg

miqmiska tk lsisfjla

úYajdi keye

±ka ug

fï wúYajdifha ld,hhs

cqodiaf.a oaùmhhs

tlg tl <`.ska ys|

Èh háka

.sKs ;nkakkaf.a foaYhhs

fyjke,a,

Tn hkak fyñysg

ì|la fyda bÈßfhka ug

w;fkdyer

.uka i.hj

;kshg

අද දවස වෙනවිට ලංකාවේ බෝඩිංකාරයෝ විදියට ජීවත්වෙන පිරිස ගැන දළ අදහසක් හරි ඔබට තියනවද? ඇත්තටම කොච්චර පිරිසක් ඉන්නව ඇති කියලද ඔබ හිතන්නේ? ලක්ෂ 10 ක් එහෙමත් නැත්නම් ලක්ෂ 30 ක් නැත්නම් ලක්ෂ 50 ක්? නෑ, ඒ සංඛ්‍යාව ඔබ හිතනවට වඩා සෑහෙන්න ලොකුයි. මේ වෙනවිට ලංකාවේ ජීවත්වෙන බෝඩිංකාරයන්ගේ ගණන කෝටී 2 කට ආසන්නයි. ඒත් ඒක වෙන්න පුලූවන්ද? ලංකාවේ ජනගහණයත් කෝටී 2 කට ආසන්නයි. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නැහැ? ඒක එහෙම වෙන්නේ අද දවස වනවිට ලංකාවේ කියන්නේ තව දුරටත් රටක් නොවෙන හින්දා. ලංකාව මේ වෙනකොට ‘රටක්’ කියන සංකල්පයෙන් විතැන් වෙලා‘රාජපක්ෂ වලව්ව’ බවට පත්වෙලා හමාරයි. ලාංකීය මහජනතාව කියල කියන කොට්ඨාෂය ඒ වලව්වට අයිති මහා ඉඩමේ තැන් තැන්වල අටවපු බෝඩිං වල ජීවත්වෙන ‘බෝඩිංකාරයෝ’ පිරිසක් විතරයි. ඇයි අපි එහෙම කියන්නේ. ඒක තේරුම්ගන්න හරිම ලේසියි. අද දවසේ ඔබ ලාංකිය පොළවේ පයගහල ජීවත්වෙන මනුස්සයෙක් නම්, තම තමන් ජීවත්වෙන විදිහ දිහා පොඞ්ඩක් හිතල බැලූවම මේ බෝඩිංකාර ජීවතේ ගැන හොඳටම වැටහෙන්න  ඕනේ.

රාජපක්ෂ පවුලේ අයයි, එයාලගේ නෑයොයි, වෙටි ඉන්න දැසි දස්සොයි, කොල්ලොයි බල්ලොයිලංකාව ඇතුළෙ ආතල් එකේ ගෙදර වගේ
ඉන්නෙත්, රට වැසියන් යයි සිතා සිටින අපි, බයෙන් බිරාන්ත වී කොයිවෙලේ මොනව වෙයිද කොයිවෙලේ දොට්ට දමයිද නොදැන කටවල් වහගෙන ඔහේ ඉලා ඉන්නෙත් අපි ජීවත්වෙන්නේ ‘රටක’ නොව ‘බෝඩිමක’ කියන කාරණය නිසා. අපි ඒක අංශ කීපයක් යටතේ තේරුම් කරල බලමු. බෝඩිම ගැන බෝඩිම් හිමියා කවදාවත් ඒ තරම් වදවෙන්නේ නැහැ. යාන්තං බිත්ති හතරක් අටවලා, වහලට මොනව හරි දාලා, කැඩිච්ච ඇඳක් දැම්මම බෝඩිංකාරයට ඒ හොඳටම ප‍්‍රමාණවත් කියල තමයි බෝඩිම් හිමියා හිතන්නේ. ඒකේ ජීවත්වෙන බෝඩිංකාරයා ඒක ඇතුළෙ ගෙවන ජීවන තත්ත්වය ඔහුට කොහෙත්ම අදාළ නැහැ. මාස 6 ක හරි අවුරුද්දක හරි ඇඞ්වාන්ස් එකයි, මාසික බෝඩිං ගාස්තුවයි වෙලාවට ලැබෙනවද, ලයිට් බිල්, වතුර බිල් වෙලාවට ගෙවනවද කියන කාරණය විතරයි ඔහු හොයල බලන්නනේ. ඉතින් ලංකාව කියන බෝඩිමේ ජීවත්වෙන බෝඩිංකාරයෝ විදියට අපිත් කරන්නේ අයිතිකාරයන්ට අසීමිත බදු ගෙවමින්, දරන්න බැරි ජීවන බර කොහොම හරි ඉවසගෙන ජීවත්වෙන එක විතරයි. අනිත් කාරණේ තමයි බෝඩිං ගාස්තු දවසින් දවස මාසෙන් මාසේ ඉහල යනවා මිසක් පහල බහින්නේ නැහැනේ.
ඒ වගේ තමයි අපේ බදු බරයි, බඩුවල බරයි දෙකම දවසින් දවස ඉහළ යනවා මිසක් කවදාවත් පහල බැහීමක් නම් වෙන්නේ නැහැ. බෝඩිං ගාස්තු කොච්චර ඉහළ ගියත් බෝඩිමේ තත්ත්වය වෙනස් නොවෙන්නා වගේම, අපි මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම කොතරම් බදු මුදල් ගෙව්වත් අපේ ජීවන තත්ත්වය එන්න එන්නම ප‍්‍රපාතයට ඇද වැටෙනවා මිස, කිසිදාක තිබුණු තත්ත්වයෙන් උසස් ජීවන තත්ත්වයක් අපට හිමිවන්නේ නැහැ. බෝඩිමක ජීවත්වෙනකොට අපි ජීවත්විය යුතු ක‍්‍රමයක් තියනවා. බෝඩිමේ ඉන්නවනම් අයිතිකාරයට  ඕන විදියට තමයි අපි ජීවත්වෙන්න  ඕනේ. මොන තරම් අප්සට් දේවල් සිද්ද වුනත්, ඒ ගැන කම්ප්ලේන් කරන්න, තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන කතා කරන්න බෝඩිංකාරයට බැහැ. එහෙම අයිතියක් තියනවා කියලා බෝඩිංකාරයා හිතන්නෙත් නැහැ. මොකද අයිතිවාසිකම් ගැන කථාකිරීම අයිතිකාරයට මළ පනින්න හේතුවෙන නිසා. බෝඩිං කාරයා තරහවුණොත් කොහෙන් කෙළවර වෙයිද කියල කවුද දන්නේ. ඒ නිසා කට වහගෙන කියන විදියකට ජීවත්වෙන එක තමයි නුවණට හුරු කියලයි හැමෝම හිතන්නේ. අපේ රට වැසියන් වැයි කියන සියල්ලන්මත් දැන් කරන්නේ ඒකම තමයි. තමන්ගේ අයිතිවාසිකම් කඩවුණත්, තමන්ට මොන විදියේ වැරුද්දක් වුණත්, ජීවත්වෙන්න කොයිතරම් අමාරු උනත්, කට වහගෙන අයිතිකාරයා කියන විදියකට කොහොම හරි ඔහේ ජීවත්වෙනවා. ඒක කොයිතරම් ෂෝක්ද?

සාමාන්‍යයෙන් බෝඩිමක අඩුපාඩු දහසකුත් එකක් තියනවා. ඒක ගැන ආයේ අමුතුවෙන් කියන්  ඕනේ නැහැනේ. ඒත් ඒ ගැන කථා කරොත් සාමන්‍යයෙන් අයිතිකාරයා අපට දෙන්නේ මෙන්න මේ වගේ උත්තර…..‘බෝඩිමේ මදුරුවො වැඩිය’ කිව්වොත් ‘ තමසෙට  ඕන්නං වත්ත සුද්දකරල දානවා’ කියයි. ‘සල්ලි තියනවනම් නෙට් එකක් ගෙනත් දාගන්නවා’ කියයි. ‘ඇයි දැන් ඔය  ඕනතරම් මදුරු කොයිල් තියෙන්නේ කඩවල’ කියයි. ‘කාමරෙ බල්බ් එකක් පිච්චුණොත්, නැත්නම් කරන්ටි අවුලක් උනොත් ‘තමුසෙට  ඕන්නං හදාගන්නවා නැත්නං කලූවරේ ඉන්නවා’ කියයි. ටැප් එකේ වතුර එන්නේ හිමින් කිව්වොත් ‘ඇයි තමසෙ ඉල්ලන්නේ දිය ඇල්ලක්ද?’ කියල අහයි. ලයිටි වලට, වතුර වලට අයකරගන්න ගාන වැඩියි කිව්වොත් ‘හැමතැනම මේ වගේ තමයි අය්සේ. අපි තමයි මෙහෙම හරි අඩුවට දෙන්නේ . ගෙවන්න බැරිනං ගනන් අඩුතැනක් හොයාගෙන යනවා’ කියයි. ඉතින් ලංකාව කියන බෝඞ්මෙත් අයිතිකරුවන්ගෙන් අපේ ප‍්‍රශ්ණ වලට ලැබෙන්නේ මේ වගේම උත්තර විතරයි.
බඩුමිල ගැන, ගෑස් මිල ගැන, පිටි මිල ගැන ඇහුවම බන්දුල ගුණවර්ධන පහුගිය කාලේ දුන්නෙත් මේ වගේම උත්තර තමයි. දැන් විමල් වීරවංශත් වැඩේට සපෝට් කරනවා. මිනිහ දෙන්නෙත් ඒ වගේ උත්තරම තමයි. ‘පිටි ත‍්‍රස්තවාදය” කියල අලුතෙන් ගෙනාවේ ඒ වගේ උත්තරයක් තමයි.
ලංකාවේ ඉස්පිරිතාල වල තියන අවුල් ගැන, ප‍්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වීම ගැන, බෙහෙත් වල තියන අප්සට් ගැන, ඩෙංගුවලින් මිනිස්සු මැරෙන එක ගැන නිමල් සිරිපාල ලොක්කා  දුන්නෙත් මීට සමානම නැත්නම් මීටත් වඩා මඥ්ඥං උත්තරම තමයි. මොන අවුලක් ගැන කොච්චර කම්ප්ලේන් කරත්, අවසානයට අහන්න හම්බවුනෙත් ඉස්සරහට අහන්න අහම්බවෙන්නෙත් ‘තමසෙලට මේ විදියට ඉන්න පුලුවන් නම් ඉන්නවා, බැරිනම් බම්බුගහගන්නවා’ වගේ උත්තර විතරයි.

ඒ අපි කථා කළේ ජීවන තත්ත්වය සහ ජීවත්වීමේ අමාරුව ගැන විතරයි. ඊට වඩා බරපතල ලොකු අමාරුකම් බෝඩිං ඇතුළෙ සිද්දවෙනවා. බෝඩිමක ජීවත්වෙන මනුස්සෙයකුට මහන්සිවෙලා ගෙදර අවාම, සද්දෙට සිංදුවක් දාගෙන අහන්න බැහැ. නිදහසේ ෆිල්ම් එකක් බලන්න බැහැ. යාලුවො ගෙන්නගෙන පොඞ් ආතල් එකක් ගන්න බැහැ. බොන්න බැහැ. බීලා එන්න බැහැ. ? රෑ වෙන්න බැහැ. ? රෑ පාන්දර වෙනකන් ලයිටි දාගෙන ඉන්න බැහැ. මේ වගේ සංස්කෘතික ගැටලු රැසකට බෝඩිංකාරයා භාජනය වෙනවා. ඒත් ගෙවල් අයිතිකාරයටයි, එයාගේ පවුලේ අයටයි, නෑ හිතවතුන්ටයි, දැසි දස්සන්ටයි විතරක් නෙමෙයි, ලොක්ක්ගේ කකුල් ලෙවකන බල්ලන්ටත් බෝඩිංකාරයට නැති තරම් කැමති දෙයක් කිරිමේ මාර නිදහසක් සහ අයිතියක් ලැබෙනවා. ඒ හැමෝටම තමන් කැමති  ඕනේ දෙයක් තමන්ගේ ගෙදර වගේ ඉඳගෙන කරන්න පුලුවන්. කැමති දෙයක්, කැමති විදියකට, කැමති තැනක ඉඳන් බොන්න පුලුවන්. හිතුණොත් එළිවෙනකම් මහ සද්දෙට බජව් දාන්න පුලුවන්. කැමති කෙනෙක් ගෙදර එක්කං එන්න පුලුවන්. ජොලියක් ගන්න  ඕන නම් වටේම ඉන්න බෝඩිංකාරයන්ට ගිහින් පොඩි පාට් එකක් දාන්න පුලුවන්. මේ ආකාරයට  ඕනෑම ආතල් එකක් ගැනීමේ පූර්ණ අයිතිය ඔවුන් සතුව තිබෙනවා. ලංකාව කියන බෝඩිමේ වෙන්නෙත් ඔය ටිකම තමයි. අපේ වින්දනය අපේ කලචර් එක හැඩගැහෙන්  ඕනේ කොහොමද  කියල තීරණය කරන්නේ අයිතිකාරයයි, ඔහුගේ පවුලේ අයයි, හිතවත්තුයි. ‘මතට තිත’ කියල බොරු විකාර කථා ජනතාවට දාලා, අරලියගහ මන්දිරේට තමන් කැමති අය ගෙන්නල නාන්න බොන්න දෙන්නෙත්, මර්වින් සිල්වා කැළනියේ බාර් නීතිය කැලෑ නීතියක් කරගෙන පිස්සු නටන්නෙත්, මෙන්න මේ බෝඩිං යථාර්තය නිසාමයි. රූපවාහිනියේ පෙන්නන හැම මගුලකම සිගරට් බොන, අරක්කු බොන දර්ශනවලට කොටු දමමින්, සිප වැළඳගැනීම් කරන දර්ශන වලට කොටු දමමින්, නර්මාණයක් සැබෑ ලෙස රස විඳිමේ අයිතිය අමු අමුවේ මරා දමන්නේත්, ‘අක්ෂරය’ වැනි සිනමාකෘති වලට වැට බඳිමින් රජයට කඬේ යන සිනමාකරුවන්ගේ ඔල්මොරොන්දම් සිනමා කෘති ඇති පදම් ප‍්‍රමෝට් කරන්නේත්, අපි බැලිය යුත්තේ, ඇසිය යුත්තේ මොනවාද යන්න ඔවුන්ම තීරණය කරන්නේත් මෙන්න මේ බෝඩිං යථාර්තය නිසායි. අපේ සංස්කෘතිය, අපේ රසඥතාවය පිළිබඳ තීරණ සියතට ගනිමින්, AKON වැනි ලෝකප‍්‍රසිද්ධ ගායකයකු තමන්ගේ වීඩියෝ පටයක බදුන්ගේ පිළිමයක් පසුතලය කරගැනීම වැනි අතිශය සරළ හේතුවක් මත, එය බුදු දහම කෙළසීමට කරන ලද මහත් අගෞරවයක් යැයි කට මැත දොඩා, උද්ඝෝෂණ කර, මාධ්‍ය ආයතනව වලට පහරදී, ලංකාවට ගෙන්වීම තහනම් කරමින් ලාංකිකයට පුලුල් ගෝලිය වින්දන අවකාශයක් ලබන්නට තිබූ අතිශය දුලභ අවස්ථාව අහිමිකරන්නේත් තමන්ගේ බලය පෙන්විමේ තවත් එක් පියවරක් ලෙසිනි. ඒ පිළිබඳ මහා දේශනා දෙන ඔවුන්ම, රට තුළ බුදු පිළිමවල ශීර්ෂය බිඳ, විනාශ කොට තම මල්ල තරකර ගන්නේත්, හාමුදුරුවරුන්ට පහර දී, වෘෂණ කෝෂ මිරිකන්නේත්, ජනතාවගේ මුදලින්ම විදේශගතවී තමන් සහ තමන්ට හිතැති වන්දිබට්ටයන් සමගින් කැමති කැමති ලෙස ඇති පදම් ආතල් ගන්නේත් ඒ නිසායි.

ලංකාව කියන බෝඩිම ඇතුළේ ජීවත්වෙන බෝඩිකාරයන් වන අපිට අපි කැමති පිරිසක් එක්ක සමග එක්වී, අපට කැමති දෙයක් කරන්නටත් අයිතිකරුවන් ඉඩදෙන්නේ නැහැ. එය කොතරම් දුරට මර්ධනය කරලද කියනවනම්, අඩු තරමින් පෝස්ටර් එකක් ගසා හෝ විරුද්ධත්වය දක්වන්න බැහැ. එය එසේ කිරීම අනිත් බෝඩිංකාරයන්ට බාදාවක් කියලා ඔවුන්ම තීරණය කරලා එයට අවශ්‍ය නිසි බෙහෙත් පොලිසිය හෝ රජයේ මැරයන් මගින් ලබාදෙනවා. (හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල, තම රාජකාඣිය නිසි පරිදි ඉටු නොකර පිස්සු කෙළියේ, ජනතාවට බෙහෙත් දීම පොලීසිය සතු වගකීමක් යැයි වරදවා වටහා ගත් නිසායි.) මේ ආකාරයෙන් බැලූ කළ, ජීවන තත්ත්වය අතින්, අයිතිවාසිකම් අතින්, රසවින්දනය අතින්, පොදු පහසුකම් ලැබීමේ අයිතිය අතින්, අදහස් ප‍්‍රකාශකරීමේ අයිතිය ඈ සියලූම මිනිස් අයිතිවාසිකම් අද දවස වන විට රාජපක්ෂ වලව්වේ වෙසෙන බෝඩිංකරුවන් වන අපට අහිමි වී තිබෙනවා. නමුත් පැවසිය යුතු තවත් වැදගත්ම දෙයක් තියනවා.. එයනම්, මේ ඇතිවී තිබෙන තත්ත්වය ඇතුලු, ඉදිරියට සිදුවන්නට යන  මේ සියල්ලටම වගකිවයුතු වන්නේ අන් කිසිවෙකු නොව මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට පාර කැපූ ‘අපි අපිම’ බවයි. ඒ නිදහසේ තමන් කැමති ලෙස ජීවත්වීමේ සියලු අයිතීන් අප විසින්ම මල් වට්ට්යක තබා රාජපක්ෂ මහතා ඇතුලූ ආණ්ඩුවට පූජා කළේ අපි අපිම නිසායි. අප සතු වූ සියලු වත්කම් සහ අයිතීන් සියල්ල සින්නක්කර ඔප්පුවකින් ඔවුන්ට ලියා අයිතිය ලබා දුන් නිසායි. ඒ බෝඩිංකරුවන්ට කිසිදු අයිතිවාසිකමක් නැතැයි, සියල්ල උහුලා, කට බලියාගෙන තවමත් ඔහේ ඉන්නා නිසායි. ඒ, රාජ්‍ය මර්ධනය, දූෂණය, සහ නාස්තිය ඇතුළු මේ සියලු ව්‍යසනයන් සියැසින්ම දකිමින් සාධුකාර දෙමින්, රජ ගුණ වයමින්  තවමත් වන්දනාවේ යන නිසායි.
රාජපක්ෂ වලව්වට ජයම වේවා… කටක් තිබෙන්නේ කන්න පමණක්යැයි සිතා සිටිනා බෝඩිංකරුවන්ට තව තවත් කෙලම වේවා..

එකෝමත් එක රටක තිබුණා පොකුණක්. ඒපොකුණට රාක්ෂකයෙක් අරක්ගෙන හිටියා. ඒහින්දා ඒපොකුණේ දිය බොන්න කිසිම සතෙක් සිව්පාවෙකුට ඉඩක් ලැබුණෙ නැහැ. එක්තරා වඳුරු කණ්ඩායමක නායක වඳුරා මේ ගැන හොඳින් නිරීක්ෂණය කරා. සත්තු පොකුණට ගියපු අඩිපාරවල් නම් තියනවා. නමුත් නැවත පොකුණෙන් ගොඩට ආප අඩි සළකුණු නම්නැහැ. වඳුරු නායකයා තේරුම්ගත්තා මේපොකුණෙ යම් අනතුරක් තියනවාකියලා. වඳුරු නායකයා තමන්ගේ කණ්ඩායමත් එක්ක කැලේට ගිහින් බට පඳුරකින් බට කඩාගෙන ඇවිත්, පොකුණ ආසන්නයේ තිබුණු ගස් උඩට නැගල පොකුණට බටේ දාලා වතුර බ්ව්වා. වඳුරු නායකයාගේ දී ස්ථානෝචිත ප‍්‍රඥාව නිසා වඳුරු කණ්ඩායම රාක්ෂයාගෙන් බේරුණා. මේසාරාංශ ගත කළේ නළපාන ජාතකය කියල අපි හැමෝම දන්නවා. ඉතින් නළපාන ජාතකයයි අද දවසේ අපේ ජීවිතයයි අතරෙ තියන සම්බන්දෙ මොකක්ද? ඒ සම්බන්දය පැහැදිලි කරන්න තමයි නළපාන ජාතකය සාරාංශගත කළේ.

අපි අද දවසේ ලාංකීයදේශපාලනයේ හැසිරීම් රටාව සහ ලාංකීය මිනිසුන්ගේ හැසිරීම් රටාව ගැන සලකා බැලූවම මේ සම්බන්දය මොකක්ද කියලා හොඳින්ම පැහැදිලි වෙනවා. ලංකාව කියන්නේ ලස්සන පොකුණක්නම්, ඒ පොකුණ අපි හැමෝටම අයිති එකක්. අපි හැමෝටම අයිතියක් තියෙනවා පොකුණට බැහැල නාන්න, දියබුං ගහන්න, වතුර බොන්න, රෙදි හෝදගන්න, කැමති තැනකට පීනන්න. ඒත් අපිට අපි කැමති හැමදේම කරන්න තිබෙන අයිතිය දැන් අපට අහිමිවෙලා ඉවරයි. එහෙම වෙන්නේ, ඒ පොකුණෙ රාක්ෂයින් එකෙක් දෙන්නෙක් නෙමෙයි, සෑහෙන්න පිරිසක් අරක්ගෙන ඉන්න නිසා.

එතකොට අපි මොකද කරන්නේ? අපි කොහොමද අපට තියන මේ එකම පොකුණෙන් වතුර නොබී ජීවත්වෙන්නේ. එක්කෝ අපි වතුර නැතුව මැරෙන්න  ඕන. එහෙම නැත්නම්  ඕන දෙයක් වෙච්චදෙන් කියල ලොකු අවදානමක් අරගෙන වැවට බහනින්න  ඕන. හැබැයි ප‍්‍රශ්ණයක් තියනවා. මීට කලින් එහෙම අවදානමක් අරගෙන පොකුණට බැහැපු එකා දෙන්නාගේ ගියපු අඩි සළකුණු මිසක් ආයිමත් ගොඩට ආපු අඩි සළකුණු නම් නැහැ. ඒ දේවල් දැන දැනත් තවමත් වැවට බැහැල රාක්ෂයන්ට අභියෝග ඛරන මිනිස්සු ඉන්නවා. ඒ අතරෙ අති බහුතරයක් නළපාන ජාතකයේ වඳුරො රංචුව වගේ ෂේප් එකේ පැත්තකට වෙලා ඉඳන් බටදාලා යාන්තං වතුර ටිකක් බොනවා.

ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක්, තමන්ගේ ජීවිතෙට ඉතාම දරුණුවටම දැනෙන ප‍්‍රශ්ණ සම්බන්දයෙන් කි‍්‍රයාකරන්නේ මෙන්න මේ ෂේප් න්‍යායෙන්. තමන්ගේ වැඬේ යාන්තං කොහොමහරි කරගන්න පුලූවන්නම්, ඒ හොඳටම ප‍්‍රමාණවත්. ප‍්‍රශ්ණෙට උත්තරයක් හොයන්නෙවත්, හොයන්න උත්සාහ කරන්නෙවත් නෑ. අඩු තරමින් ප‍්‍රශ්ණෙට උත්තර හොයන්න හදන අනෙක් මිනිස්සුන්ට වචනයකින්වත් සහයෝගයක් දෙන්නෙ නැහැ. ෂේප් එකේ පැත්තකට වෙලා ඉඳගෙන බටයක් දාලා වැඬේ කරගන්නවා. ප‍්‍රශ්ණෙට උත්තර හොයන්න යන මිනිස්සු අර විලේ ඉන්න රාක්ෂයා කනවා.

ආණ්ඩුවේ ආයතනයකට වැඩක් කරගන්න ගියහම එතන තියන   ගැන කවුරුවත් වදවෙන්නෙ නැතුව, ඒ ගැන කථාකරන්නෙ නැතුව ෂේප් එකේ අත යටින් ගානක් දීලා තමන්ගෙ වැඬේ කොහොමහරි කරවගන්නවා. ඊටපස්සේ එළියට ඇවිල්ල බනිනවා, මුන්ට හෙණ ගහන්න  ඕන කියලා. ප‍්‍රශ්ණෙ ගැන ඇතුළෙදි ඇත්තටම ප‍්‍රශ්ණ කරන මනුස්සයගේ වැඬේ ඉතින් ජීවිතේට කෙරෙන්න නැහැ.

බස් එකේ යද්දි හරක් පටවල වගේ කිසිම ගාණක් නැතුව කොහොමහරි එල්ලිලා යනවා. බස් එක ඇතුළෙදි ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැහැ, මොකද කථා කළොත් කොන්දොස්තර කණට දෙකක් ගහල බස් එකෙන් එළියට දානවා. ඒහින්දා අර තනි කොන්දට බයේ, හිමින් මුණු මුණු ගගා ඉඳලා, බැහැල යන ගමන් බනිනවා බස්කාරයටයි, ඩ‍්‍රයිවර්ටයි, කොන්දොස්තරටයි, ඒගොල්ලන්ගෙ දෙමව්පියන්ටයි අම්ම මෝ නැතිවෙන්න. ඒ වගේම නිකමට හරි එකම එක මනුස්සයෙක් හරි බස්එක ඇතුළෙදි මේකට විරුද්ධව කථා කළොත්, මිනිහට කොන්ද දෙකක් දීලා බස් එකෙන් බස්සනකොටත් මේ නපුංසක මිනිස්සු ඔහේ බලන් ඉන්නවා. නිකමට හරි බස්එකේසෙනග තීරණය කළොත්, අපි මේ බස් එකේ යන්නෙ නැහැ, අපි බහිනවා, දෙනව අපි ඔක්කොටම අපේ සල්ලි ආපහු කියලා, ඩ‍්‍රයිවර්ටයි කොන්දොස්තටරයි වහකන්න තමයි වෙන්නේ. මොකද ඒ ගොල්ලො පිනට කරන වැඩක් නෙමෙයිනෙ මේ, ජනතාවගේ මුදලින් තමයි ඒ අය ජීවත්වෙන්නේ. අනික එතන ඉන්නෙ දෙන්නයි, බස් එකේ ඉන්නවා දාහක් විතර හරක් වගේ පටවපු සෙනග. ඒත් මිනිස්සු තෝරගන්නේ කොහොම හරි පරක්කු නොවී තමන්ගෙ ගමන යන්න  ඕනේ කියන ෂේප් න්‍යාය. ජනතාව එකමුතුවෙලා ඒ වගේ එඩිතර තීරණයක් ගත්තනම්, ඉදිරියෙදි, බස්එකක ගෙනයන්න පලූවන් නියමිත මිනිස්සු ප‍්‍රමාණයක් ගැන තීරණයක් ගැනීම වගේම, හැමතැනම නවත්ත නවත්ත කොට කොට යන එක පවා නවත්තගන්න තරම් බලයක් මගී ජනතාවට ලැබෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඒ වාසිය ලැබෙන්නෙ අපි හැමෝටමයි කියල කවුරුවත් හිතන්නේ නැහැ.

පොලිස් කාරයෙක් දාහක් සෙනග ඹැද්දෙ කාටහරි මනුස්සයෙකුට කණට ගහනකොට, ගුටි කන මිනිහ විතරක් නෙමෙයි, වටේ පිටේ ඉන්න අනිත් මිනිස්සු පවා වචනයක් නොකියා ගොළුවො බීරෝ වගේ ඔහේ බලන් ඉන්නවා. මිනිහෙකුට එහෙම නිකරුණේ පහරදෙන්න කිසිම අයිතියක් නැහැ කියල සහ, ඒක පොලිස්කාරයගේ වැඩ තහනම් කරන තැනට පවා ගෙනියන්න පුලූවන් වැරුද්දක් කියලා කිසිකෙනෙක් කථාකරන්නෙ නැහැ. මොකද කථා කරොත් සමහරවිට ගුටි කන්න වෙයි කියලා, නැත්නම් කට උත්තර දෙන්න, සාක්කී දෙන්න, පොලීසි උසාවී ගානේ රස්තියාදු වෙන්න වෙයි කියලා හිතලා. නමුත් ඒ වගේ සිදුවීම් කිහිපයකට ජනතාව එකතුවෙලා නිසි ප‍්‍රතිචාර දැක්වුවොත්, ඉස්සරහට පොලිස්කාරයා පවා සාමාන්‍ය මිනිහෙකුට අත උස්සන්න කලින් දෙපාරක් හිතනවා. මනුස්සයෙකුට මනුස්සයෙක් විදියට සලකනවා.

මේවගේ දාහක් උදාහරණ ගෙනහැර පාන්න පුලූවන් අද දවසේ ලාංකිකයාගේ ෂේප් එකේ ජීවත්වීමේ හෙවත් බටයක් දමා වතුර බීමේ න්‍යාය ගැන. මොකද අපි ජීවත්වෙන ලංකාවේ උඩ ඉඳල පහලටම අපිට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ වගේ තත්ත්වයක්. අපි ඇත්තටම ‘ජීවත්වීම’ කියන දේ සහ ‘නිදහස’ කියන දේ තේරුම ගැනවත් කිසිම අවබෝධයක් නැති ජාතියක්. අපට තියෙන්නේ ඒ වචන විතරයි, ඒකේ සැබෑ අර්ථය නැහැ. එහෙම අවබෝධයක් තිබුණානම්, මෙහෙම තත්තවයක් උදාවෙන්නත් බැහැ. මිනිස්සු කීප දෙනෙකුට විතරක් පොකුණ අරක්ගත්ත රාක්ෂයෝ වගේ ඉඳගෙන ජනතාවට පාට් දාන්න තරම් බලයක් ලැබෙන්නෙ නැහැ. අද දවෙස් ලංකාව ඇතුළෙදි අපි ජීවත්වෙන්න  ඕන මොන විදියටද, හිතන්න  ඕන මොන විදියටද, ලියන්න  ඕන මොනවද, බලන්න  ඕනෙ මොනවද, කන්න  ඕන මොනවද, බොන්න  ඕන මොනවද, හිනාවෙන්න  ඕන කොහොමද වගේ හැමදෙයක්ම තීරණයකරන්නෙ මේ විල අරක්ගත්ත රාක්ෂයින්.

මේ කතාව කිව්වට පස්සෙත්, ගොඩ දෙනෙක් තර්ක කරන්න පුලූවන් මෙන්න මෙහෙම. ‘රාක්ෂයන්ට අභියෝග කරන්න ගිහින් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනව අපි දැකල තියනවා. ඒක මහ මෝඩකමක්.’ ‘ඔව්, ප‍්‍රශ්ණ තියෙනවා තමයි, ඒත් ඉතින් ෂේප් එකේ හිටියොත් අවුලක් නැතුව කොහොම හරි නොමැරි ඉන්න පුලූවන්නේ.’ ‘ඇයි මේ ගොන් වැඩ කරන්නෙ නැතුව අපි වගේ ෂේප් එකේ බටයක් දාලා වතුර ටිකක් බොන්නෙ නැත්තේ කියලා.’

නළපාන ජාතකයෙදි වඳුරු නායකයා ගත්ත තීරණයෙ දී ඒක ‘ස්ථානෝච්ත ප‍්‍රඥාව’ බව ඇත්ත. මොකද වඳුරන්ට  ඕන වුනේ වතුර ටිකක් බීලා යන්න විතරයි. ඒත් අපිට එහෙමද? වතුර ටිකක් බොනවට වඩා වැවෙන් කොච්චර වැඩ ගන්න තියනවද අපිට. අපි වඳුරො නෙමෙයිනේ. අපි මිනිස්සු. එතකොට අද දවසේ මේ වැවේ තැන් තැන්වල ගස් වලට නැගලා හැංගිලා බට දාලා වතුර බිබී ෂේප් එකේ ඉන්න මිනිස්සු හිතනව නම් ඒ ගොල්ලන් කරන වැෙඩි තමයි මේ වෙලාවෙ නුවණට හුරු වැඬේ, එහෙම නැත්නම් ‘ස්ථානෝච්ත ප‍්‍රඥාව’ කියලා, අපිට කියන්න වෙන්නේ ඔයාලා මිනිස්සු නෙමෙයි වඳුරො කියලා.

අපි හැමෝම පැහැදිලිවම දන්නව මෙතනලොකු අනතුරක් තියනවා. තියනවා විතරක් නෙමෙයි අනතුර දිනෙන් දින වැඩෙනවා. හරියට රාක්ෂයා එන්න එන්න ලොකු වෙනව වගේ. ඒ වගේම ෂේප් එකේ බට දාගෙන වතුර බොන්නෙ නැතුව රාක්ෂයාට අභියෝග කරන්න උත්සාහ කළ මිනිස්සුන්ට වෙච්ච දේ පවා අපි දන්නවා. ඔවුන් විලට ගිය අඩි සළකුණු හැර නැවත ගොඩට ආපු සළකුණු නැත හින්දා. මොකද අපි ඉහත කතා කළ අනිත් සෑම ප‍්‍රශ්ණයදීම වගේ, තනි තනිව සටන්කරල අයිතීන් දිනාගන්න බැහැ. නමුත් අපි හැමෝම ඇත්ත ප‍්‍රශ්ණෙදි එකතුවෙලා ඊට විරුද්ධව සටන් කළොත් අපිට  ඕනෑම යකෙක් රාක්ෂයෙක් පරද්දන්න පුලූවන්. එහෙම පරද්දල විලේ සැබෑ අයිතිය රාක්ෂයන්ගෙන් ජනතාවට ලැබුණු දාට, යාන්තං බට දාලා හැංගී හැංගී වතුර ටිකක් බීලා සැනසෙනවා වෙනුවට, කිසිම බයක් සැකක් නැතුව වැවට බැහැල දිය බුං ගගහ නාන්න, කැමති කොණකට නිදහසේ පීනන්න, ඇති තරම් වතුර බොන්න, ඔරු පදින්න, මෙකී නොකී හැමදේම කරන්න අපිට අයිතිය ලැබෙනවා. ‘නිදහස’ කියන්නේ ඒකට. එහෙම නැතුව පෙබරවාරී 4 වෙනිදට ගෙදර සිංහ කොඩියක් දාන එකට නෙමෙයි.

ඒනිසා කවුරුහරි අපි වෙනුවෙන් සටන් කරනතුරු හැංගිලා බලන් ඉඳලා, ඒ මනුස්සයා රාක්ෂයා කද්දි සද්දනැතුව කටවහගෙන තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව, නැගී සිටින්න මේ තමයි කාලය. ජීවිතේ දිනාගන්න සටන් කිරීම ෂේප් එකේ බටයක් දාලා වතුර බොනව වගේ ලේසී වැඩක් නෙමෙයි. සමහරවිට ඒ සටනෙදී අපට අපේ ජීවිතය පවා අහිමිවෙන්න පුලූවන්. නමුත්, ඒ දිනාගන්නා ‘සැබෑම නිදහසේ’ මිහිරි අයිතිය අපෙන් පසු ජීවත්වෙන පරපුරක් හෝ හිත පුරා විඳීවී.