මම ගිය සතියේ දවසක රු.100 ක රී ලෝඞ් එකක් දාගන්න ගියා කමියුනිකේෂන් එකකට. කොමිනියුකේෂන් එකේ වැඩ කළේ ගෑණු කෙනෙක්, සහ තවත් පිරිම ළමුන් දෙදෙනෙක්. නමුත් බැලූ බැල්මට තේරුණා ගෑනු කෙනා තමයි මෙතන වැඬේ ගෙනියන්නේ කියල. මොකද මුදල් ගැනීම සහ ඉතිරි ලබාදීම කළේ ඇය තමයි. අනිත් අයට විධාන දුන්නෙත් ඇයමයි. මම මගේ රී ලෝඞ් එක දාන්න රුපියල් 100 දෙනකොටම එතනට ආවා හමුදා නිළධාරියෙක්. ඔහු ආවේ ටිකට් පොතකුත් අරගෙන. හමුදා සුභ සාධන අරමුදලකට ආධාර පිණිස විකුණන ටිකට් පොතක්. ඉතින් අපේ මේ රණවිරුවා ඇවිත් කිව්වා හමුදා සුබසාධක සංගමයට ආධාර පිණිස ටිකට් පොතක් ගහනවා, එකක් ගන්න රුපියල් 100 යි කියලා. හැබැයි සිද්ධවුණේ මං හීනෙංවත් නොහිතපු දෙයක්. එකපාරට අර ගෑනු කෙනා කියාපූ, ගන්න විදියක් නෑ, මේ කඬේ අයිතිකාරයා නෑ කියලා. හමුදාවේ එක්කෙනා ඇහුවා, කවුද මේකේ අයිතිකාරයා කියලා. එයා ඉන්නේ මෙහේ නෙමෙයි, වෙන ෂොප් එකක, අර ගෑනු කෙනා කිව්වා. ඒකට කමක් නෑ, ඔයා නෙ මෙතන වැඬේ කරගෙන යන්නේ අපට ආධාර පිණිස ටිකට් එකක් ගන්න කියලා. මේ ගෑනු කෙනා කියනවා අපි හරියට සල්ලි බේරුවේ නැත්නම්, මහත්තයගෙන් කුණු බැනුම් අහන්නයි වෙන්නේ, මේ සල්ලි වලට අත තියන්නවත් අපට බැහැ කියලා. මේ වෙලාවේ හමුදා නිළධාරියට කේන්තී ගියා. එයා ඇහුවා, එතකොට මේකෙ අයිතිකාරයා කඬේ නෑ…? මාර වැඩක්නේ මේක. අපි මේ කඩ පේලියේ කඩ 20 කට ගියා. කඩ 20 න් 19 කම අයිතිකාරයා කඬේ නෑ. හැමෝම කියනවා අයිතිකාරයා නැති හින්දා රුපියල් 100 ක් දීලා ටිකට් එකක් ගන්න බෑ. හරි අපි බලාගන්නම්, තමුසෙල කිසිම කෙලෙහෙ ගුණයක් නැති මිනිස්සු, අපි නැත්නම් අද තමුසෙල කොහොමද මෙහෙම බයක් සැකක් නැතුව එළියට බැහැල ඇවිදින්නේ. අපි ජීවිතේ පරදුවට තියල දිනල දුන්නු නිදහසට වඩා තමුසෙලට රුපියල් 100 වටිනවා නේද කියලා. අනික් මේක පිං ටිකට් එකක් නෙමෙයි, මේක දිනුම් අදිනවා, පේනව නේද මොනවද තියන තෑගී කියලා. හමුදා නිළධාරියා ටිකට් පොත දික්කළා ඇගේ මූණ ළ`ගටම. ගෑනු කෙනත් නිකං හිටියේ නෑ. එයා කිව්වා, ඉතින් අපි මොනව කරන්නද? අයිතිකාරයා හිටියනං දෙන්න තිබුණා කියලා. හමුදා නිළධාරියට හොඳටම තරහ ගියා. හොඳයි, අපි බලාගන්නම්, මට දෙන්න මේ කඩ කාමරේ විස්තර ඔක්කොම. එයා සාක්කුවෙන් පොඩි පොතක් ඇදල ගත්තා. ඒක දිග ඇරියම මම දැක්කා ඒකේ ලියල තිබුණු කඩ කාමර ඇඞ්ඩ‍්‍රස් සහ දුරකථන අංක පේලියක්ම. අර ගෑණු කෙනා කිව්වා, හරි ඔන්න ලියාගන්න කියලා කඬේ ලිපිනයයි දුරකථන අංකයයි දෙකම දුන්නා. මටත් එවෙල හිතුණා එක අතකින් වැඩ කරන මිනිස්සුත් අසරණයිනේ මොනව කරන්නද කියලා. ආයෙමත් හිතුණා ඒත් දෙය්යනේ රුපියල් 100 ක් නම් අතේ නැතිවෙන්න බැහැනේ ද කියලත්. කොහොමින් කොහොහ හරි හමුදා නිළධාරියා ටිකක් සද්දෙ දාලා යන්න ගියා. යන ගමන් කිව්ව, අපි ආයෙමත් එනවා කියලා. අර ගෑණු කෙනා “හා” කියලා ඔළුව වැනුවා.
එයා මගේ රී ලෝඞ් එක දාන්න ගත්තෙ ඊට පස්සේ. ඒ අක්කා මගේ දිහා බලලා හිනාඋනා. මමත් හිනඋනා. ඊට පස්සෙ එයා මට හිනාවෙලා කියනවා, අපි කොහොමද දන්නේ ඔය ටිකට් පොත් ගහල සල්ලි අරං මොනව කරනවද කියලා. නේද මල්ලී? මමත් ඉතින් ඔලූව වැනුවා. ඊට පස්සේ මම ඇහුවා ඇත්තටම අක්කේ මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියලා. එයා හිනාවෙලා කිව්වා, මම තමයි අයිතිකාරයා, මේක මගේ කොමියුනිකේෂන් එක කියලා. ඒ වෙලාවෙ නම් මම පොඞ්ඩක් ෂොක් උනා. එකක් තමයි, රුපියල් 100 ක් කියන්නේ මේ කාලේ හැටියට මහ දෙයක් නෙමෙයි, මොකද රුපියල් සීයකින් මහ දෙයක් කරන්න බැහැ අද කාලේ. දෙවෙනි කාරණේ, තමන් අයිතිකාරයා වෙලා ඉන්දැද්දී හමුදාවේ කෙනෙකුට එහෙම බොරුවක් කියන්න තරම් කුහක වීම, තුන්වෙනි කාරණෙ තමයි මේ මෑතකදී ඉවරවෙච්ච යුද්ධෙන් පස්සේ ජාතික කොඩි ගහගෙන, දකින දකින හමුදා නිළධාරීන්ට කිරිබත් කැව්වෙත් මේ ගොල්ලොම හින්දා.
මම ඇහුවා, ඇත්තටම ඔයාටද අයිති කියලා. එයා කිව්වා ඔව්, කියලා. මේකනේ මල්ලී, ඔයා කඩයක් දාගෙන බලන්නකෝ දවසට කී පාරක් එනවද කියල ඔය හමුදාවෙන්, පොලීසියෙන් අපිට දඩ දාන්න. අනික යුද්ධෙ දිනුවා කියලා අපි මොකටද ටිකට් පොත් ගන්නෙ, ආණ්ඩුවෙන් පඩි ගෙවුවනේ ඒවට. හමුදාව ඉන්නෙ යුද්ධ කරන්න තමයි, අනික එයාලා දන්නෙ නැද්ද හමුදාවට බැඳෙනකොට ජීවිතය පරදුවට තියල තමයි යන්න වෙන්නේ කියලා. එයාලගෙ රස්සාව තමයි යුද්ධ කරන එක. මගේ රස්සාව මේක. දිනන්න බැරි නම් ඒක හමුදාවක් නෙමෙයිනේ, කියලා. මට මේ කතාව මාර කේස් එකක්. මට හිතුණා ෂුවර් එකටම රුඩිකල් චරිතයක් තමයි මෙයා. එක්කෝ යුධ විරෝධී වාමාංශික චරිතයක්. නැත්නම් සමාජ සම්මතවලට පයින් ගහන රැඩිකල් චරිතයක්. මොකද, මම උනත් කොයි තරම් යුධ විරෝධි වුනත්, හමුදා නිළධාරියෙක් ඇවිත් ටිකට් එකක් දික් කළොත් නිකං නොගෙන ඉන්න එක මාර අවුලක් වගේ දැනෙනවා. ඒ මගේ මතවාදයට වඩා එළියෙ මතවාදය ලොකු හින්දා. ඒ හින්දා මම ඒ අක්කගෙන් ඇහුවා, අක්ක කැමතිනම් මට පොඞ්ඩක් කියනවද ඔයාගේ දේශපාලන මතවාදය මොකක්ද කියලා? අක්කා හිනාවෙලා කිව්වා මට එහෙම එකක් කියලා නැහැ මල්ලි, මං ඔය කෝකටත් ටික ටික කැමතියි, හැබැයි ඉතින් ඡන්දෙ නම් දුන්නේ අපේ මහින්ද මහත්තයට තමයි කියලා.
දෙය්යනේ මේකනම් වෙන්න බැරි දෙයක්, මේ ඉතාම ආසන්නයේ දවසක මහිනද් රාජපක්ෂ රජය විසින් ලැබූ යුධ ජයග‍්‍රහණයෙන් උද්දාම වී, මල්වෙඩි ගසා, හමුදා සෙබළුන් සොයාගෙන ගොස් බදා වැළඳගෙන, ජාතික කොඩි ඇගේ ඔතාගනිමින්, තමනුත් කිරිබත් කා, අහුවෙන අහුවෙන හමුදා සහ පොලිස් නිළධාරීන්ට බලෙන්ම කිරිබත් කැවූ ජනතාව ද මේ? කඩ පේලී දිගේ ගොස් කඩ 20 කින් 19 කම අයිතිකරුවන් නැතැයි බොරු කියා, රුපියල් 100 ක් නොදී, රණවිරුවන් හරවා යැව්වේ ඒ ජනතාවමද? සැබැවින්ම ජනතාව ඔය කියන තරම්දේශපේ‍්‍රමීන් නම්, අයිතිකරුවන් සිටියත් නැතත් ජනතාව තමන්ට කන්නට තිබෙන මුදලින් හෝ රුපියල් 100 ක් දෙන්නට හැකියාවක් නොමැති විය නොහැකිය. නමුත් කඩ 20 කට ඇවිද ගොස් රුපියල් 100 කට වඩා හොයාගන්නට නොහැකි වූ අපේ හමුදා නිළධාරියාට දැන් සිතෙනු ඇත්තේ කුමක්ද? කෝ ඒ දේශපේ‍්‍රමී ජනතාව. කෝ ඒ රණවිරු ගී ගැයූ කලා කරුවන්. කෝ ඒ සිංහ කොඞ්, කෝ ඒ කිරිබත්.??? මේක හරියට ඊයේ මට පණවගේ ආදරෙ කරපු කෙල්ල, අද මා දුටුවිට නාඳුනන කෙනෙකු මෙන් අහක බලා ගත්තා වැනි තත්ත්වයක්. ඒ තරම් ආදරයක්, ගෞරවයක් ලැබූ, අපේ රණ විරුවෝ, ජාතියේ පිනෙන් පහල වූ වා යැයි කියූ රණ කාමියෝ, සිය දහස් ගණන් රණවිරු ගී වලින් උස්සා තැබූ රණ කාමීයෝ, රටපුරා බැනර් පෝස්ටර් ගසා ප‍්‍රණාමය පළකල රණකාමියෝ, ටෙලි නාට්‍ය සහ ච්ත‍්‍රපට වලින් උස්සා තබා ගුණ වැයූ රණකාමීයෝ… කෝ දැන්?
සරත් ෆොන්සේක් ඇතුළුව ති‍්‍ර විධ හමුදාවට, පොලීසියට මෙන්ම බොහෝ දෙනෙකුට නොතේරුණු ඇමති මණ්ඩලයට සහ ඊනියා බුද්ධිමතුන් හා කලාකරුවන්ටද නොතේරුණු, මහින්ද රාජපක්ෂටම පමණක් තේරුණු ලාංකීය ජන සමාජයේ යථාර්තය මෙයම නොවන්නේද? ලංකාවේ පොදු ජනතාව යනු වැල යන අතට මැස්ස ගසනා ජාතියක් විනා, මැස්සක් ගසා හරි මග වැල යවන ජාතියක් නොවේ. වෙලාවේ හැටියට තමන්ට අවශ්‍ය දෙය කරගන්නවා හැර, අනවශ්‍ය දේවල්වලට අත නොදමා, අත පුච්චානොගෙනම රොටිය බා ගන්නටත් ඔවුන් දැන් හොඳාකාරවම දනී.
සරත් ෆොන්සේකාට, හමුදාවට සහ අනෙකුත් සියළු දෙනාටම වැරදුණු තැන මෙතැනයි. සරත් ෆොන්සේකා සිතුවේ ලංකාවේ ජනතාවගේ එකම පැතුම යුදධය ජය ගෙන නිදහසේ ජීවත්වීම බවයි. ඒ නිසා යුද්ධයෙන් පසු සකල ලංකාවාසී ජනතාව තමා සමගම මැරෙන්නට හෝ එතැයි සිතා ඔහු ජනාධිපතිවරණයට තරග කළේය. ඇත්තටම ඔහු තරග කළාට වඩා ඔහු තරග කෙරෙව්වා කිවීම වඩාත් සුදුසුයි. සරත් ෆොන්සේකාට සිදුවූයේත් අර ටිකට් විකුණනන් කඩ 20 කට ගොස් එක කඩයකින් පමණක් ටිකට් එකක් මිලදී ගත් හමුදා නිළධාරියට සිදු වූ සිද්ධියමය.
ලාංකීය සමාජය දැන් ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය මත නොවේ. ඔවුන් ජීවත්වෙන්නේ අද දවස ගැන සිතා පමණි. වෙනත් වචනයකින් කියන්නේ නම්, ලාංකීය ජනතාව ජීවත්වෙන්නේ ‘පිස්සු පූසාගේ’ න්‍යායට අනුවය, ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී.. අතීතය ගැන සිතා ඒ පිළබඳව උද්ධාම වන්නවත්, අතීත වික‍්‍රමයන් මෙනෙහි කරමින් ඔවුන්ව අගයන්නටත්, අනාගත සුබ සිහින දකින්නවත්, එසේ සුබ සිහින මවන අය පිළිගන්නවත් ඔවුන් දැන් සුදානම් නැත. ඔවුන්ගේ එකම දිනය අද පමණකි. ඒ නිසා, අතීතයේ කළ කී දැ මත හෝ, අනාගතයේ කරන්නට යන දේ මත ජනතාව තවදුරටත් තම මනාපය පළ නොකරයි. මේ බව හොඳින්ම තේරුම් ගත්, ලාංකීය ජන විඥ්ඥාණය පතුළටම කිඳා බැස ඇති එකම ජන නායකයා මහින්ද රාජපක්ෂම පමණකි. ඔහු තමන්ට කරන්නට තිබෙන දහසකුත් එකක් සියළු වගකීම් සහ වැඩ කටයුතු පසෙක ළා, අද අද එයි මරු පින් කරගන්නේ යන න්‍යාය අනුව යමින්, දහ අට වෙනි සංශෝධනය ඩෝං ගා රුගෙන එන්නේ මෙන්න මේ ලාංකීය ජන සමාජයේ හැසිරීම සහ ඔවුන්ගේ මනෝභාවයන් පැහැදිලිව හඳුනාගත් නිසායි. තව අවුරුදු 7 ක් පමණ ධූර කාලයක් ඉතිරිව තිබෙද්දී පවා 18 වන සංශෝධනය ඉදිරිපත් කර සම්මත කරගෙන ජීවිත කාලය පුරාම රටේ පාලකයා වීමට අවශ්‍ය පසුබිම මහින්ද රාජපක්ෂ විසින් සකසා ගත්තේ, තව අවුරුද්දක් දෙකක් යනවිට, ලංකාවේ ජනතාවට ඔහු එපාවී, ජනපි‍්‍රයත්වය හීන වී, යුධ ජයග‍්‍රහණ අමතක වී, කුණු බිත්තර පවා ගැසීමට ඉඩ ඇති ජනතාවක් ලංකාව තුළ වෙසෙන බව ඔහු දන්නා නිසාය.
මෙවන් වාතාවරණයක් තුළ, කාලයත් සමගම, අනිත් රාජ්‍ය නායකයින්ට සිදු වූ ආකාරයටම, මහින්දගේ නායකත්වය නිසැකවම අභියෝගයට ලක්වන බව ඔහු හොඳින් දනී. කල දුටු කළ වල ඉහගනු න්‍යාය හොඳින්ම දන්නා මැද මුලනේ මහින්ද රාජපක්ෂ, වහාම කි‍්‍රයාත්මක වී තම ඉදිරිමග නිරවුල් කරගන්නේ මෙන්න මේ ලාංකීය යථාර්තය ඔහු අනිත් හැමෝටම වඩා හොඳින් ග‍්‍රහණය කරගෙන තිබෙන නිසාය. 18 ට පසුව තවත් ව්‍යවස්ථා සංශෝධන ගණනාවක්ම රැුගෙන එනු නොඅනුමානය. ඒවා මගින් තව තවත්, පටි තදකරන බවද සක් සුදක් සේ පැහැදිලිය. නමුත්, ඒ ගෙන එන ව්‍යවස්ථා සංශෝධන හෝ පනත් කොතරම් අපුල වුවත්, දැන් කිසිවෙකුට කළ හැක්කක් නොමැත. තමන්ගේ බලය පිළිබඳව තිබූ අවුල මහින්ද රාජපක්ෂ විසින් විසඳාගෙන හමාරයි. එසේත් නැත්නම්, මහින්ද රාජපක්ෂ කඩ විස්සටම තම ටිකට් විකුණා හමාරය.
මා කලින් දුටු හමුදා නිළධාරියාගේ සහ මහින්ද රාජපක්ෂගේ කැපී පෙනෙන වෙනස සනිටුහන් වන්නේ මෙතැනදීය. මහින්ද රාජපක්ෂ, තමන්ට අවශ්‍ය වෙලාවටත් කලින්ම, ටිකට් පොත ගසා කඩ පේලියටම විකුණා අවසන්ය. මේ මොහොතේ මහින්ද චින්තන ටිකට් නොගන්නේ කවුද? මේ මොහොතේ ජනතාවට මහින්දගේ ටිකට් එක නොගැනීම හරියට ලාංකීය සමාජයේ ආනන්තරීය පාපකර්මයක් කරනවා වැනි දෙයකි. නමුත්, හමුදා නිළධාරියා තම ටිකට් පත් විකුණන්නට එනවිට හමුදාපති ගේ සිට පහළට හමුදාව කෙරෙහි තිබූ සියළුම ගෞරවයන්, මහින්ද රාජපක්ෂ විසින් රාජසන්තක කොටගෙන අවසානයි. දැන් හමුදාටව ටිකට් විකුණල ගොඩ එන්න බෑ. මහින්ද රාජපක්ෂ ඊට කලින් ටිකට් පොත විකුණල ඉවරයි.
මහින්ද රාජපක්ෂගෙ ටිකට් පොත කොච්චර ලොකුද කියල අපි දන්නේ නෑ. අපිට කොච්චර ලොකු ගාණක් ගෙවන්න වෙයිද කියලත් අපි දන්නේ නෑ. ඒත් අපි දන්න එක දෙයක් තියනවා, 18 වෙනි සංශෝධනය කියන ටිකට් එක විකුණගත්ත නිසා, දැන් ඉස්සරහට ගහන ටිකට් පොත් විකුණගන්න හරීම ලේසි වෙනවා. මොකද මින් ඉදිරියට එළඹෙන්නේ බලෙන් ටිකට් විකිනීමේ වාරයයි. තමන් කැමති උනත් නැතත්, විකුණන ඕනෑම ටිකට් එකක් ගන්නට ලාංකීය ජනතාවට මෙන්ම මැති ඇමතිවරුන්ට පවා සිදුවෙනවා. හැබැයි, මේ ටිකට් වල කොච්චර ලස්සන තෑගී ගහල තිබුණත්, ඒ තෑගි කවදාවත් දිනුම් අදින්නේ නෑ. දිනුම් ඇදෙන තෑගිත් ඔක්කොම ඇදෙන්නේ මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ ඥාතී හිත මිත‍්‍රාදීන්ටම විතරයි. අපිට ඉතුරුවෙන්නේ හිස් කොලේ විතරයි. අන්තිමේ රුපියල් 100 ත් මහින්දට, ඇදෙන තෑගිත් මහින්දට.
ඉතින්, අපිට ජනතාවට, මැති ඇමතිවරුන්ට, ජන නායකයින්ට, සිවිල් සංවිධාන වලට, කලා කරුවන්ට, දේශපේ‍්‍රමීන්ට, විප්ලවවාදීන්ට, පරිසර හිතකාමීන්ට, පූජ්‍ය පක්ෂයට, මෙකී නොකී හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් අපට ටිකට් එක ඇදිල ඉවරයි. නමුත්, මේ ටිකට් පොත් ගැහැල්ල මෙතනින් නවතින්නේ නෑ, ඒ නිසා, පුළුවන්නම්, මේ ටිකට් විකිණිල්ලට විරුද්ධ වෙන්න. ටිකට් ගැනීම ප‍්‍රතික්ෂේප කරන්න.අපි ගන්නෙ නැහැ කියන්න. කෙලින්ම කරන්න තරම් කොන්දක් නැත්නම්, අර හමුදා සුබසාධක අරමුදලට ටිකට් විකුණන්න ආවම කමියුනිකේෂන් එකේ අක්කා කළ වැඬේ වගේ කපටි වැඩක් හරි කරන්න. රට ගැන හරි හෙට හරි ගැන නොහිතුවට කමක් නෑ, අතේ තියන රුපියල් 100 ට කෙළවෙන එක ගැන හිතලා හරි මේ වැඬේට බකට් එක දාන්න. නැත්නම්, ජීවිත කාලේ පුරාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, මහින්ද රාජපක්ෂ විකුණන ආසියාවේ ආශ්චර්යය ටිකට් පොතටම ගෙවල ගෙවලා අපි මැරිල යයි, ඇදෙන තෑගී ඔක්කොම මහින්ද රාජපක්ෂ සහ නෑ හිත මිතුරන් සතුටින් භුක්ති විඳීවී.