අපි පුංචි කාලේ කරපු අපූරු සෙල්ලමක් තිබුණා, ඒකට ඉංගී‍්‍රසියෙන් කියන්නේ “Simon says” කියලා. සෙල්ලම කරන්නෙ මෙහෙමයි. මේ සෙල්ලමට  ඕන තරම් පිරිසක් සහභාගි කරගන්න පුළුවන්. හැබැයි මෙතනින් සයිමන් වෙන්න පුළුවන් එක්කෙනාටයි. අනිත් අය සයිමන් කියන දේ ඒ විදියටම කරන්න  ඕන. සයිමන් කිව්වොත්, ආ දැන් උඩපනින ගමන් බඩ අත ගාන්න කියලා, ගේම් එකට  සම්බන්ධවෙලා ඉන්න අනිත් හැමෝම ඒ වැඬේ කරන්නම  ඕන. එහෙම පනින්න බැරි වෙන අය ගේම් එකෙන් පරාදයි. එතකොට ඒ ගොල්ලො ඔක්කොම එලියෙ. සයිමන්ට  ඕන කරන්නේ පුලූවන් තරම් ඉක්මනින් අනිත් හැමෝම පරද්දල ගේම් එකෙන් අයින් කරන එක. අනිත් අයගේ ටාස්ක් එක තමයි එලියට විසිවෙන්නෙ නැති වෙන්න කොහොම හරි ගේම් එකේ ඉන්න එක. ඒ හින්දා සයිමන් කියන දේ හරියටම ඒ විදියටම කරන්න ඒ ගොල්ලො පරිස්සම් වෙනවා. හැබැයි සයිමන් මෙතනදි හරිම කපටියි. ඒ හින්දා සයිමන් සමහර ඒවා පටලවල කියනවා. උදාහරණයක් විදියට එයා සයිමන් කිව්ව කියන්නෙ නැතුව නිකංම උඩ පනින්න කියල, උඩ පනින අය අවුට්. මොකද ඒ කියන්නේ සයිමන් නෙමෙයි. එතකොට උඩ පනින අයට ආයි චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ. හැබැයි මේ වචනෙ පිටවෙන්නෙත් සයිමන්ගෙම කටින්, එතකොට ගේම් එකේ ඉන්න අය අවුල් වෙනවා. මේක ඇත්තටම කරන්න හරිමඅමාරු ගේම් එකක්, සයිමන්ට ඇර අනිත් හැමෝටම.

මේ ගේම් එකේදී බොරුවෙන් දිනන්නත් පුළුවන්. ඒකට සයිමන්ට බලය තියෙනවා. සමහර වෙලාවට සයිමන් කියනවා උඩ පනින්න හැබැයි පොළවට වැටෙන්න බෑ. කකුල් දෙකම උඩ තියාගෙන ඉන්න  ඕන කියලා. මේක ජීවිතේට කාටවත් කරන්න බැහැ. ඒත් සයිමන්ට බලය තියෙනවා  ඕන දෙයක් කියන්න. එතකොට වෙන්නෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ගේම් එකෙන් පැරදිලා හැමෝටම එලියට යන්න තමයි. සමහරවෙලාවට ගේම් එකට කිසිම සම්බන්ධයක් නැති දෙයක් කියලත්, සයිමන්ට අවශ්‍ය නම් තමන්ට අනවශ්‍ය අයව අයින් කරන්න පුළුවන්. ඉතින්, සයිමන් කියන දේ හරියටම අකුරටම එක දිගට, වැඩිම කාලයක් පිළිපදින්න පුළුවන් අය විතරයි අන්තිමේ සයිමන් එක්ක ඉතුරුවෙන්නේ. අනිත් ඔක්කෝම අවුට්.

මට මේ ගේම් එක මතක්උනේ, මහින්ද රාජපක්ෂ ලගදී ගහපු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන ගේම් එක දැක්කම. මේකත් හැබෑවටම අපි පොඩිකාලේ කරපු අර ගේම් එක වගේමයි. මහින්ද රාජපක්ෂ කියන්නේ මොකක්ද ඒක ඒ විදියටම කරන්න අපේ මැති ඇමතිවරු සැදී පැහැදී ඉන්නවා. නැත්නම් ගේම් එකෙන් අවුට්. ඒ හින්දා මොන දේ කිව්වත් ඒක ඒ විදියටම කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද හැමෝටම ගේම් එකේ ඉන්නත් ආසයි. ඒ අයත් දන්නව මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. අනික මේකේ මහින්ද කියන හැම දේම හරි නෑ කියලා. ඒත් එහෙම කියල හරියන්නෙ නෑ. මහින්ද කියනව දහ අට හොඳයි කියල කියන්න කියලා. ඉතින් දිනේෂ් ගුණවර්ධනල, මෛතී‍්‍රපාල සිරිසේනල, විමල් වීරවංශල, ගෙ ඉඳල ගේම් එකේ ඉන්න කැමති හැමෝම මේක ගිරව් වගේ කියනවා. ඒ විතරක් නම් මදෑ. අලූතෙන් ගේම් එකට විපක්ෂයෙන් එකතුවෙන අයත් ඉන්නවා. ඒ ගොල්ලො කියන්නෙ අපි කරන සෙල්ලම කිසි ගතියක් නැති හින්දා මේ ගේම් එකට සෙට් උනා කියලා.
එතකොට කලාකාරයෝ (?) සිවිල් චරිත, බුද්ධිමතුන් (?), ජාති මාමකයින් (?), විතරක් නෙමෙයි, මහ නායක හාමුදුරුවරු පවා කියනවා දහ අට මරු කියලා. ඊට පස්සේ මහින්ද කියනවා, දැන් හැමෝම අත් උස්සල ඡුන්දෙ දහ අටට පක්ෂව ඡුන්දෙ දෙන්න කියලා. ගේම් එකේ අවුට් නොවී ඉන්න  ඕන හැමෝම, වාසුදේව සහ ඩිව් ගුණසේකර වැනි වා…….මාංශික නායකයන් පවා පටස් ගාලා අත උස්සනවා.

එහෙම දහ අට මරු කියල, ඒකට අත ඉස්සුවට පස්සේ, මහින්ද සෙල්ලම් කරන මේ සයිමන්ගෙ ගේම් එකේ බලතල තවත් වැඩිවෙනවා. දැන් ඉතින් මහින්ද ට කැමති කාලයක් සයිමන් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි,  මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම,මූල්‍ය කොමිසම හා සීමා නීර්ණය කොමිසම, කියන ස්වාධීන ආයතනවලට කොමසාරිස්වරු පත්කිරීමේ තනි බලයත් මහින්ද රාජපක්ෂට ලැබෙනවා. එතකොට ඒ ගොල්ලො කැමති උනත් නැතත්, ඉබේම මේ සයිමන් ගේ සෙල්ලමේ කී‍්‍රඩකයො වෙනවා.

ඒ විතරක් නම් මදෑ. අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කිරීමේ බලයත්, අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇරෙන්න, අනිත් සියළුම සාමාජිකයින් පත් කරන්නත්, නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තු මහ ලේකම්, ඔම්බුඞ්ස්මන් මේ ඔක්කොම පත්කරන්නත් බලය තියෙන්නේ ජනාධිපතිට. එතකොට ඒ ගොල්ලොත් සයිමන් කියන දේ අහන්නම වෙනවා. නැත්නම් අවුට්.

එතකොට මොකක්ද මේ වැඩෙන් අන්තිමට වෙන්නේ. මේකෙන් වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමෙයි, සයිමන් කියන විදියකට සයිමන් කැමති කාලයක් ඉන්න සිද්ධවෙන එක විතරයි. බොැරුවට විරුද්ධ වෙලා වැඩක් නෑ. මොකද මේක ගේම් එකක්. විරුද්ධ උනා කියන්නෙම, සයිමන් කියපු දේ කරල නෑ. එතකොට උන් සේරම ගේම් එකෙන් අවුට්. ඉතුරුවෙන්නේ කොඳු කඩාගත්ත කියන කියන දේ කරන හෙංචයියෝ සෙට් එකක් විතරයි.

හැබැයි මේ මහින්දගේ ගේම් එකේ සෙල්ලම් කරන හැමෝටම අපිට කියන්න දෙයක් තියනවා. දැන් ඉතින් සයිමන් ගේ කාලය ගැන අවුලක් නෑ. ඉස්සර තිබුණු 17 තිබුණ නම්, සමහරවිට අවුරුදු 12 කට පස්සෙ හරි සයිමන් මාරුවෙනවා. දැන් ඒ සෙල්ලම ඉවරයි. දැන් ඉතින් ඔළුවෙන් හිටගෙන ඉන්න කිව්වොත් ඔලූවෙන් හිටගෙන ඉන්නයි, තමන්ටම වෙඩි තියාගන්න කිව්වොත් වෙඩි තියාගන්නයි, නොකා ඉන්න කිව්වොත් නොකා මැරෙන්නයි තමයි වෙන්නේ. දැන් ඉතින් මහින්දට පස්සෙ සයිමන් වෙන්න හිතාගෙන හීන මවපු හැමෝටමයි, සයිමන් ගෙ දහ අටට සපෝට් කරපු හැමෝටමයි, සපෝට් නොකර ෆයිට් කරපු හැමෝටමයි, සපෝට් නොකර නිකංම හිටපු හැමෝටමයි…..
“සයිමන් කියනවා” බඩ කපා ගන්න කියලා.