Category: සාහිත්‍ය දේශපාලන


අපි පුංචි කාලේ නිතරම වගේ අහන්න ලැබුණු අපූරු සිංදුවක් තිබුණා. ඒක ගායනා කළේ රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර. පද රචාන කරල තිබුණේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔබ බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයො ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

මේ ගීතය දැන් අහන්න ලැබෙන්නෙම නැහැ. ඒ හින්දා මෑත පරම්පරාවේ අය මේ ගීතය අහල තියනවද කියල මම දන්නෙත් නෑ. නමුත් මේ ගීතය මට අහම්බෙන් වගේ මතක්උනා. පද ටික තාම මතකයේ තිබුණා. ඒ ටික හිතින් කියවගෙන යනකොට මට තේරුණා මේ ගීතය කොයි තරම් සර්වකාලීන ගීතයක් ද කියලා. අනිත් කාරණේ තමයි, එදාටත් වඩා අද දවසේ අපේ සමාජයට වැඩිපුරම ගැළපෙන ගීතයක් මේක. ඒ මෙන්න මේ කාරණේ හින්දා. අද දවසේ හැමෝම අහන එකම ප‍්‍රශ්ණය තමයි මේ..

දුක සේ සිටුවා අඹ ඇටයක් අද, එක අඹයක්වත් කන්න ලැබේවිද..?

අද දවසේ අපි ජීවත්වෙන්නේ පරිභෝජනවාදය පමණක්ම මුල්කරගෙන. ඒ නිසා, කවුරුවත් කැමති නැහැ තමන්ට වාසියක් නොලැබෙන වැඩකට අත ගහන්න. හැමෝම වැඩකට බහිනව නම් බහින්නේ, ඒකෙන් තමන්ට අත්වෙන වාසිය ගැන පළමුවෙන්ම හිතලා. ඒ වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කරන්න වෙනවද කියයල කාරණේ හොයල බලල විතරයි. ඒ නිසා, ‘දුක සේ අඹ ඇට සිටුවන’ අය අද දවසේ හරිම අඩුයි. පරාර්ථය ගැන නොහිතන මේ වගේ ආත්මාර්ථය උදෙසාම පමණක වැඩකරන මිනිස් සමාජයක ඒ තත්ත්වය අනිවර්යයි.

නමුත්, ප‍්‍රශ්ණෙ තියෙන්නෙ එතන නෙමෙයි. අඩු තරමින්, අතීතයේ යම් කිසි කාර්යභාරයක් කරන විට, ඒ පිළිබඳව සවිඥාණිකව, ඒ ගැන සොයාබලන, විමසන පිරිසක් හෝ ඒ කාර්යය හා බද්දධව පිටුපසින් සිටියා. බොහෝදුරට, යම් කිසි සංවාදයකින්, පැහැදිලි කිරීමකින්, මත ගැටුමකින් පසු හෝ ඒ කාර්යයේ අගය වටහාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්නට එකතුවූ පිරිස් හිටියා. මේ වගේ ගීත බිහිවෙන්නේ අන්න ඒ සන්ධර්භය ඇතුළේ. නමුත් අද දවසේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානය කැප කරල වැඩ කරන පිරිස, අති මහත් බහුතර ජනතාවකට පේන්නේ හරියට ජෝක් එකක් වගේ. අඩු තරමින් මේ අය කරන්නේ මොනවද, ඒකෙන් සිදුවෙන්න පුළුවන් දේවල් මොනවද, කියලවත් අහන්න බලන්න තරම් වත් අපේ ජනතාව සුදානම් නැහැ. ඒ මොකද, මේක ගැන හොයන්න ගියොත්, තමන්ටත් අඹ ඇට සිටවන්න සිද්ධවෙයි, කියන බයට. ඒ හින්දා මේ අය කරන්නේ, පෙර පරම්පරාවේ කවුරු හෝ පැළකල, හොඳට ලොකුවට හැදිච්ච අඹ ගහක් උඩට වෙලා, ඉදිච්ච අඹ ගෙඩියක් කන ගමන් දැන් අඹ ඇට හිටවන පිරිසට හූ කියන එක තමයි. හූ කියල විතරක් නතරවෙන්නෙ නැහැ. අඹ ඇටවලිනුත් ගහනවා.

අද දවසේ අපි ජීවත්වෙන මේ වටපිටාව මෙසේ නිර්මාණය වීමම පවා අතීත කි‍්‍රයාවලියක ප‍්‍රථිපලයක් කියන එක හැමෝම ලේසියෙන් අමතක කරල දානවා. හැමෝ ජීවත්වෙන්නේ හරියට මේ සියල්ල  ඕපපාතිකව තමන්ට පහල උනා වගේ හැගීමකින්. අතීතයේ මේ වෙනුවෙන් සටන් කළ, ලේ හැළු, තම ජීවිතය සහ ශ‍්‍රමය කැපකළ පිරිසකගේ ජීවිත මතින් අද දවස අපට හිමි වී තිබෙන ජීවිතය, අපි හැමෝම ලේසියෙන්ම අමතක කරනවා. මොකද, එතකොට තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන්න ලේසියි. ඉතින් මේ අති බහුතර ජන සමාජය එක හඩින් කියන දෙයක් තමයි, ‘මේ වෙලාවේ අඹ ඇට හිටවන්න’ යන්න එපා, ඒක කිසි තේරුමක් නැති වැඩක් කියලා. ඒ සඳහා නොයෙක් සාධාරණ හේතුත් ඒ අයම හදල දෙනවා. මේ කාලේ පෑවිල්ල සැරයි. අඹ ඇට හිටවල වැඩක් නෑ, එතකොට හැමදාම වතුර දාන්නත් වෙයි. අනික, හැමතැනම නිදැල්ලේ අතැරල දාපු හරක්. හරක්ගෙන් පැළ බේරගන්න එකත් ලේසී නෑ. ? දවල් නැතුව මුර කරන්න වෙයි. එහෙම නැත්නම්, ඉඩමෙ අයිතිකාරයා අඹ ඇට හිටවනවට කැමති නෑ, ගුටි කන්න වෙයි වගේ කතා. ඇත්තම අර්ථයෙන් කියනවනම්, මේ හැමෝම කියන්න දගලන්නේ, මේ මොහොතේ පවතින යථාර්ථය එක්ක හැප්පෙන්න එපා, ඒක හරි කටුක ඒ වගේම මාරාන්තික කි‍්‍රියාවලියක්, ඒ නිසා අපි වගේ පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන තියනවනම් අනුන්ගෙ අඹයක් කාලා හරි නැත්නම් උඩබලාගෙන හරි ඉන්න කියලා. කාලය හැමදෙයක්ම විසඳල බන්දේසියක් උඩ තියාපු හොඳ අඹ ගෙඩියක් හෙට දවසේ අපට ලැබෙයි කියලා.
ඒත් මිනිසුන් නිකංම බලාගෙන ඉදීමෙන් පමණක් සිදුවෙන විපර්යාසය කුමක්ද? කාලය විසින් අපට ලබා දී තිබෙන විසඳුම් මොනවාද ? අපේ පෙර පරපුර, කලා කරුවන්, බුද්ධිමතුන්, සිවිල් සමාජයේ මහා චරිත, දේශපාලකයින්, පමණක් නොව සමස්ත ජනතාවම තමන්ගේ වැඩක් බලාගෙන කාලයට අවශ්‍ය දේ කරන්නට ඉඩ සැලසීමෙන් අද දවසේ අපට ඉතුරු වී තිබෙන්නේ කිනම් වට පිටාවක් ද?

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය තුළ සිදුකළ හැකි සහ සිදුකළ යුතු සමාජමය මැදිහත් වීමක් සහ යුතුකම් කොටසක් තියනවා. එය පසෙක දමා තමන්ගෙ සිහිනය තුළට වී ජීවත්ව සිටීමෙන් හෝ, අනුන්ගේ ගසකින් අඹ කඩාගෙන කන්නට බලා සිටීමෙන් සිදුවන්නේ, අපට පමණක් නොව, අපෙන් පසුව එන පරපුරටත්, අදටත් වඩා බියජනක, කාලකණ්නි සමාජ වටපිටාවක් උරුම වීම පමණයි. අද දවසේ පවතින ප‍්‍රශ්ණ දෙස වඩා පුළුල් අර්ථයකින් බලා ඒ වෙනුවෙන් අද දවසේ මැදිහත් විය යුත්තේ, එහි ප‍්‍රතිඵලය ඡුන්ද ප‍්‍රතිථලය මෙන් ඊට පසු දින වන විටම ලැබේයැයි සිතාගෙන නෙමෙයි. තල වැපුරුවොත් තල හා වී වැපුරුවොත් වී ලැබෙන්නා මෙන්ම, කිසිවක් නොකර නිකං සිටීමෙන් ලැබෙන්නේ හුළං පමණයි.

ලෝකේ කිසිදු වෙනස්කමක්, කිසිදු කි‍්‍රයාවලියක්, කිසිදු විප්ලවයක්, එක ඇසිල්ලකින්, දවසකින්, මාසයකින් සිදු උනේ නැහැ. උදාහරණයක් විදියට, රයටිස් සහෝදරයන් ගුවන් යානය හදන්නට පෙර, ඒ වෙනුවෙන් සිහින මැවූ, වෙහෙසුනු, විවිධ අත්හදාබැලීම් සිදුකළ, තමන්ගේ කාලය සහ ජීවිතය පවා කැප කළ බොහෝ අතීත කි‍්‍රයාවලියක් ඒ පිටුපස තියනවා. ඒක එහෙම නොවුනානම්, රයිට්ස් සහෝදරයන් ගුවන් යානය හදන්නේ නැහැ. ඒ පිළිබඳ අදහසක් එන්නේ නැහැ. ඒක අතීත කි‍්‍රයාවලියක් සහ අතීත ශ‍්‍රමයක අවසන් ප‍්‍රතිඵලයක්. එය එසේ නොඋනානම්, අහසින් යන එක අද දවසෙත් අපට හීනයක්. අද දවසේ අපි භුක්ති විඳිනා සෑම අංශු මාත‍්‍රයකම විශාල අතීත ශ‍්‍රමයක් සහ කැපකිරීම් සමුදායක් නිදන්ගතවෙලා තියනවා කියන එකට අද දවෙස් අපි පරිහරණය කරන ඇල්පෙනෙත්තේ සිට සියළු දේ හොඳම උදාහරණ. ඒ කාලෙත් රයිට්ස් සහෝදරයන්ට හිනාවෙච්ච මිනිස්සු ඉන්න ඇති. ඊට කලින් ඒ වෙනුවෙන් සිහින මැවූ මිනිස්සුන්ටත් තවත් අය හිනාවෙන්න ඇති. ඒත් එහෙම උනා කියලා, එක පාරක් දෙපාරක් වැඬේ ෆේල් උනා කියලා, වැඩේ අතැරලා දාන එක නෙමෙයි අපේ යුතුකම.
ඕනෑම ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට කැපකිරීම් සිදුකළ යුතුමයි. කැප කිරීමෙන්, මැදිහත් වීමෙන්, දායකවීමෙන් තොරව කවුරුන් හෝ වැඬේ කරදෙන තුරු බලා සිට සව්දිය පිරීමේ අලස සහ කපටි න්‍යායෙන් ඉවත් වී පොළවට බහින්න දැන් කාලය ඇවිල්ලා. මේ නිශ්චිත මොහොතේ ඔබ සමාජමය මැදිහත් වීමකින් කරනු ලබන ඉතාම කුඩා අංශුවේ සිට සෑම දෙයක්ම, අපේ අද දවසේ විතරක් නෙමෙයි, අපෙන් මතු පරපුරේත් අනාගතය පවා තීරණයවා. ඉතින් තම තමන්ගෙ තැන්වල ආතල් එකේ ඉඳගෙන, මෙන්න මේ අති දුෂ්කර මොහොතේ, පොළවට බැහැල මතු පරපුර වෙනුවෙන් අඹ ඇට සිටවන හැමෝගෙන්ම, අති බහුතරයක් අහන මෙන්න මේ දැවැන්ත ප‍්‍රශ්ණෙට..
‘දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..?’  කියන ප‍්‍රශ්ණෙට….

මට දෙන්න තියෙන්නෙත් මෙන්න මේ උත්තරේම තමයි.

මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි…

(නිලාර් එන් කාසිම් විසින් පරිවර්තනය කරන ලද “සහෝදර පියාපත්” කාව්‍ය සංග්‍රහය​ දෙස නැවත හැරී බැලීමක්)

මේ කාලයේ කවි ගැන හැමතැනම කතාවෙනවා. විශේෂයෙන් ෆේස් බුක් එකේ. ඊට අමතරව, සෑහෙන්න පිරිසක් කවි ලියනවා. ඒ සම්බන්ධයෙන් වාද විවාදයන් ඇති වෙනවා. කවියේ කවීත්වය පිළිබඳව සහ කවිය යනු කුමක්ද? කවියේ අයිතිකරුවන් කවුද? කවි ලියන්නේ කෙසේද? මේවත් කවිද? වැනි විවිධ මතවාදයන් ෆේස්බුක් එක හරහා, වෙනත් වෙබ් අඩවි හරහා සහ සම්මන්ත‍්‍රණ, වැඩමුළු, සහ පුවත්පත් වලින් බොහේ දේ ප‍්‍රකාශ වෙනවා. නමුත් මේ හැමෝම කතා කරන්නේ සහ කතාවෙන්නේ සිංහල කවිය සම්බන්ධයෙන් විතරයි. දෙමළ භාෂාවෙන් ලියවෙන, දෙමළ සහ මුස්ලිම් කවීන්ගේ කවි ගැන කිසිවෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ. තවමත්, අපි ඔවුන්ව මගහැරල තමයි අපේ ගමන යන්නේ. බොහෝවිට අපි අපේ අභ්‍යාන්තරයේ කැකෑරෙන අදහස් කවියක් හෝ යම් නිර්මාණයක් මගින් ප‍්‍රකාශ කරල එලියට දානවා. ඒ මගින්, අපිට එකිනෙකාව තේරුම්ගන්න පහසුවෙනවා. එතකොට අපි දන්නවා ඒ පුද්ගලයාගේ මනෝභාවයන් මොනවද, ඒ පුද්ගලයින් ඉන්නේ මොන වගේ පීඩනයකද, ඔවුන්ගේ අරමුණු මොනවාද, ඔවුන්ගේ ප‍්‍රශ්ණ මොනවාද, ආදී වශයෙන් බොහෝ දේවල්. නිලාර් එන් කාසිම් විසින් පරිවර්තිත දෙමළ කවීන්ගේ කවි ඇතුළත් ‘සහෝදර පියාපත්’ ගැන නැවත වරක් මතක් කිරීමක් කරන්නට මට හිතුණේ ඒ හින්දා. සහ ඒ කවි කියැවීමේදී ම අපට දැනෙනවා ඔවුන්ගෙ කවි මගෙහි ඇති ප‍්‍රබලත්වය. ‘සහෝදර පියාපත් ’ මුද්‍රණය වුනේ 2006 අවුරුද්දේ. ‘සහෝදර පියාපත්’ තුළින්, ඒ කවි වලින් ඔවුන් පිටකළ වේදනාව දෙමළ කවි කියවා නැති සහ කියවන්නට භාෂාව දන්නෙ නැති අති බහුතරයක් වූ සැමට විඳින්නට සැලැස්වීම ඇත්තටම අගය කළ යුත්තක්. ‘සහෝදර පියාපත්’ පෙරවදනේ සිට, කවි පොත අවසානය දක්වා කියවාගෙන යෑමේදී දැනෙන කම්පනය ඉතා බරපතලයි. එයට හේතු සාධක වන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි, අපි මෙතෙක් නොදැන, ඇස් කන් වසා සිටි උතුරු නැගෙනහිර දෙමළ ජන සමාජය පෙරළු ඒ කුරිරු යුද්ධයෙන් බැට කන සාමාන්‍ය ජනතාවගේ සිතැගි සහ වේදනාවන් මනා ලෙස මේ කවීන් අතින් නිර්මාණය වී තිබීමයි. හුදෙකලාවීම, අපේක්ෂා භංගත්වය, පීඩනය, මරණය සහ මරබිය, මේ සියළු ආතතියන්ගෙන් බැට කෑ ජනතාවකගේ සැබෑම හද ගැස්ම මේ කවීන් වෙතින් එළියට ඇද දමා තිබීමයි. දෙවන කම්පනය නම් මේ පොත සඳහා දායකවූවන් පිළිබඳ හැගීමයි. දෙවෙනි කාරණය පිළිබඳ කතා කරන්නට මත්තෙන්, ‘සහෝදර පියාපත්’ කාව්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගත් කවි කිහිපයක් මෙහි උපුටා දක්වන්නේ, තවමත් එය කියවා නොමැති කෙනෙක් වෙත් නම්, ‘සහෝදර පියාපත්’ කෘතිය සොයාගෙන කියවීමට හෝ අවැසි ගින්දර සැපයීමටයි.

– තැති ගැන්ම –

ගලෙන් කළ නිවහනෙක
දොරවලට
පිටරටින් රැගෙන ආ
අගුළු දැමුවා උවද
පලක් වෙද?

වහින විට
ගෙයි පොළොව
නිතර තෙත බරිත වෙයි
වැහි වතුර කාන්දුව
අලූත් උළුකැට මැදින්
වැගිරෙද්දි
සුදු එළිය නිවී යයි

කුකුළු රැළ හඩ තලත්
අහෝ ඒ මුගටියන්
හිතක් පපුවක් නොමැති මුගටියන්
මරලතෝනිය මැදත්
කුරිරු ලෙස රැගෙන යත්

කල්පනා කරන විට
දොර අරින්නද කියා
පපු කැවුත්තම දැවෙයි
බියසන්ව තැති ගැනෙයි

ඇවිත් යම දූතයන්
සන්කොට
ගිණි අවි අගිස්සෙන්
‘දොර අරින්නැයි’ කියා
රැගෙන යන වෙලාවක
වරුසාව පෑව්වත් ඵලක් වෙද?
බය බිරාන්තව තැති ගැනෙන
සුනු විසුනු වී වැටෙයි හදවත

තල් යාය
වෙලී ගින්නෙන් දැවෙයි
ඉපල් තල් අතු පුපුරු
සුළග හා පියාඹයි
සුළං සැඩ පරුෂ වී
හැපි හැපී කැරකැවෙයි
තල් ගස ප‍්‍රලය වෙයි
ඇද වැටුණොතින් එය
ගේ මත්තේ ?

පපු කැවුත්තම පත්තුවෙයි

(තා. රාමලිංගම්)

– බුදුන් ඝාතනය කිරීම –

බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම

රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ

‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති

‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය

දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත

(එම්. ඒ. නුහ්මාන් )

– සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය
අපේක්ෂාවෙන් සිටි විටෙක
මගේ මිදුලෙහි…

පළමුව පැමිණියේ උකුස්සෙකි
මගේ කුකුළු පැටවුන්
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්

අනතුරුව
රාජාලියෙක් ඇවිත් ලැග්ගේය
මගේ මිදුලෙහි පොල් ගසක් මත

මළ පහ කළේ ඌ ෂෙල් වෙඩිය
මගේ ගේ දොර
බිඳී විසිරී විනාශ විය
ජීවිතය පවා මට අහිමි විය
සරණාගතයෙක් වීමි
යළිදු මම

(එම්. ඒ. නුහ්මාන් )

– යුධ සමයේ රාති‍්‍රයේ පීඩනය

යුධ සමයෙ
රාති‍්‍රය සමග එන පීඩනය
අපේ දරුවන්
අකාලයේ වියපත් කරනු ඇත

පුංචි කුරුල්ලන් බඳු ඔවුන්ගේ
සොඳුරු වූ උදෑසන බිඳ දමයි
මග හරස්කොට දමා ඇති
ලේ වැකුණු – මුහුණු නැති
මළ සිරුරු

ඔවුන්ගේ සිනා කෙළි කවට හඩ
තාප්ප බිත්ති පවා පුපුරවණ සුළුයි
ඉතින්
ඒ අපේ දරුවන්
දරුවන්ම නෙවෙයි මෙයින් මතු

තරු පිරුණු රැයේ
නිහඩ බව
තුවක්කුවක හඩින්
පිපිරවෙයි…
ළමා කතන්දර සියල්ලෙහි
හරි අරුත
මැරී වැටෙනු ඇත ඒ සමග

ඉතිරි වූ පුංචි දහවලෙහි
ඔවුහු
ළපටි තල් ඇට වලින් වේල් කරත්ත නොසාදති
තාච්චි නොපනිති
අමතක වී ගොස්ය
ළමා කෙළිදෙල

අනතුරුව
කඩුල්ල කලින්ම වහන්නත්
බල්ලන්ගේ
වෙනස්වන බිරුම් හඩ හඳුනාගන්නටත්
ප‍්‍රශ්ණ නොඅසාම ඉන්නටත්
ඇසූ ප‍්‍රශ්ණවලට පිළිතුරක් නැති කල්හි
නිහඩව කරබා ගන්නටත්
පුරුදු වෙති

දැන් ඔවුහු
බත් කූරන්ගෙ තටු දෙකම කඩාගෙන
පුළුස්සා සතුටුවෙති
කෝටු කැබලි තුවක්කු මෙන් මනාගෙන
සතුරන්ය සිතාගත් යහළුවන් මරා දා
සිනාසෙති

ඒ අපේ දරුවන්ගේ ළමා කෙළි සෙල්ලම්ය

යුධ සමයෙ
රාත‍්‍රිය සමග එන පීඩනය විසින්
අපේ දරුවන්
අකල්හිම වියපත් කර තිබේ.

(සිවරමණි)

මා මෙහි උපුටා දැක්වූවේ කවි කිහිපයක් පමණි. කවි 63 ක් පුරා දිවෙන මේ වේදනාත්මක සත්‍යය සැබැවින්ම මහා වේදනාවෙන් කෑ ගසන සමස්ථ දෙමළ ජන සමාජයම මොනවට විග‍්‍රහකර තිබේ. ‘සහෝදර පියාපත් ’ කරන්න දෙයක් නැතිකමට දෙමළ කවීන්ගේ කවි කිහිපයක් සිංහල බසට දැමීමක් නොව, ඉතා තදබල දේශපාලනික කර්තව්‍යයකි. විශේෂයෙන් සිංහල සමාජය ඉතා ජාතිවාදි ලෙස සියල්ල දෙස බලන්නට හුරු වී සිටි යුගයක දෙමළ කවි පිළිබඳව මෙසේ මැදිහත් වීම සැබැවින්ම ඒ කාලයේ දැවැන්ත කාර්යභාරයකි. නමුත්, කම්පා වන්නට තිබෙන වෙැන්න වන්නේද එයමයි. එය දැනගැනීමට අපි මේ ‘සහෝදර පියාපත්’ ආරම්භය දෙස මදක් විමසා බලමු. මේ කෘතියේ පෙර වදන ලියා තිබෙන්නේ රෝහිත භාෂණ සොයුරායි. ඔහු ඉතා තදබල ලෙසම දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් කි‍්‍රයා කළ, අතිශය කි‍්‍රයාකාරී පුද්ගලයෙකි. පෙරවදනේ ඔහු මෙම කෘතියට පාදක වූ අතීත කතාව ගෙනහැර දක්වයි.

‘ ලක්දිව පත‍්‍රයේ කර්තෘ මාණ්ඩලික කටයුතු ආරම්භ වූයේ 1991 නොවැම්බරයේදීය. ‘ලක්දිව’ කවි පිටුව සංස්කරණය සඳහා සුනිල් මාධව පේ‍්‍රමතිලක සහෝදරයාගේ කැඳවීමෙන් මා ලක්දිවට එක්වූයේ ඒ ආරම්භයේදීමය. නිලාර් ඒ වනවිට මාසිකව පළවූ ‘විවරණ’ ස`ගරාවේ සංස්කාරක කමිටුවට එක්ව සිටියේය. සංගෘහිත කොට පළ කෙරෙන නිලාර් ගේ ‘සහෝදර පියාපත්’ කෘතියට පසුබිම සකස්කරන ලද්දේ මෙකී ඓතිහාසික සිදුවීම් දාමයයි. අපි එකිනෙකා මුණගැසී ලක්දිව කවි පිටුව (නිම්තෙර) සඳහා අඛණ්ඩව දෙමළ කවීන්ගේ නිර්මාණ පරිවර්තනය කොට පළ කිරීමට කථිකා කළෙමු. තීරුව සඳහා සහෝදර පියාපත් නම යෝජනා කළේ මගේ මතකය අනුව ‘ලක්දිව’ එක්ව වැඩකළ අතීත දේශපාලන මිතුරකුව සිටි විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) සහෝදරයාය. පරිවර්තන පළකිරීම පිළිබඳ යෝජනාව ගෙන ආ නිලාර් උද්‍යෝගිමත් ලෙස ස්වකීය කාර්යය නොකඩවා සම්පූර්ණ කළේය.’

නිලාර් ගේ සමෝධානය තුළින් මේ කාර්යයට සම්බන්ධ වූ අනෙක් අය ගැන මෙසේ සඳහන් වෙයි.

‘සහෝදර පියාපත් එනමින් වන තීරුවක් ලෙස පළමුවෙන් පළවූයේ ලක්දිව (1992-1993) ලක්දිව මිතුරු සමාගම සොඳුරුය. සුනිල් මාධවගේත්, විනී හෙට්ටිගොඩගේත් කරතෘත්වයෙන් පළ වූ එම පුවත්පතෙහි ප‍්‍රවෘත්ති කර්තෘ වූයේ ඩලස් අලහප්පෙරුමයි. විමල් වීරවංශ (එවකට විමලසිරි ගම්ලත්), රෝහිත භාෂණ, සුදත් මහදිවුල්වැව, ධර්ම ශී‍්‍ර කාරියවසම්, සහ තිඹිරියාගම බණ්ඩාර ඇතුළු හිතවත්තුද එම සමාගමය තුළ සිටියහ. ඔවුහු නිරන්තරව ‘සහෝදර පියාපත්’ කතිකාව තුළ සිටියහ. එම නිර්මාණ සහෘදයා වෙත ගෙන යෑමට අත්වැලක් වූහ.’

දෙමළ ජන සමාජය දෙස මෙතරම් පුළුල් ඇසකින් සහ විවෘත මනසකින් බැලූ මෙවන් සුන්දර මිනිසුන්ට අද දවසේ අත්ව ඇති ඉරණම කුමක්ද? ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය සැබැවින්ම අගයකළ යුතුය. නමුත්, එවැනි මානවහිතවාදී, රුඩිකල් චරිත අද සිටින්නේ කොතනද? මා මුලින් සඳහන් කළ දෙවැනි කම්පනය වන්නේ මෙයයි.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ කෘතිය පරිවර්තනය කළ නිලාර් එන් කාසීම් අද වනවිට ජාතික රූපවාහීනියේ ප‍්‍රබල නිලයක් දරමින් සිටියි. එහෙයින් දෙමළ ජනතාව ගැන හෝ වෙනත් මතයක් වෙනුවෙන් සමාජය තුළ පෙනී සිටීමේ ලයිසන් එක ඔහුට අහිමි වී ඇති හෙයින් භාතිය සන්තුෂ්ට හෝ අශාන්ති ට ගී ලියමින් සිටියි.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ සම`ග ලක්දිව කවි පිටුව කළ සහ මෙම පොතේ පෙරවදන ලියූ රෝහිත භාෂන සහෝදරයාට රටින් පිටත ජීවත්වන්නට සිදු වී තිබේ. එහෙයින්, වෙනදා මෙන් ඔහුගේ හ`ඩ හෝ ඒ ‘හිරු’ එළිය අපට වැටෙන්නේ නැත.

අවාසනාවකට ‘සහෝදර පියාපත්’ නම යෝජනා කළ සහ දෙමළ ජනතාව වෙනුවෙන් මේ තරම් ගැඹුරු සංවාදතලයක ජීවත් වූ, විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මහතා වත්මන් රජයේ ප‍්‍රබලා (?) ඇමතිවරයෙක් බවට පත්වී අතිශය ජාතීවාදී අස්ථානයක් ගෙන සහෝදර පියාපත් ගලවා දමා ඇත.

අවාසනාවකට මෙම පුවත් පතේ සිටි පුවත් කර්තෘ සහ නිලාර් පවසන අන්දමට නිරන්තර සහෝදර පියාපත් සමාගමයෙහි සිටි ප‍්‍රබල රුඩිකල් චරිතයක් වූ ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම රජයේ ප‍්‍රබල (?) ඇමතිවරයෙක් බවට පත් වී යුද්ධයට පක්ෂපාතව දැනූ සාමයෙන් උද්දාම වී සිටියි.

අවාසනාවකට ඉතාම සුන්දර මිනිසකු ලෙස ප‍්‍රකටව සිටි, සුනිල් මාධව පේ‍්‍රමතිලක තිරයෙන් මැකී ගොස් තිබේ.

නමුත්, නිලාර් සහ පිරිස කළ ඒ අතීත ශ‍්‍රමයට පින්සිද්ධවන්නට, අද දවසේ අපට ‘සහෝදර පියාපත්’ ලැබී තිබේ. නිලාර් එන් කාසිම්, රෝහිත භාෂණ ලා එක්ව කළ එම කාර්යභාරය හේතුවෙන් දෙමළ කවියේ රුව ගුණ හෝ දැනගන්නට දෙමළ බස නොදන්නා නමුත් සහෝදර පියාපත් බෙදාගන්නට කැමති තවත් පිරිසකට අද දවසේ අවස්ථාව හිමි වී තිබේ. එහෙයින් ඔබ සැම සිදුකළ ඒ දේශපාලනික ඓතිහාසික කි‍්‍රයාවලියට ගරු කරන අතරම, අද දවසේ ඔබ සිටින තැන ගැන දැනෙන දැඩි කම්පනයෙන් සහ වේදනාවෙන් මෙසේ ලියා තබමි.

සොඳුරියේ….කාලය කෙතරම් නපුරුද?