ඊයේ රාති‍්‍රයේ  12 ට පමණ මා නිදන්නට යනවිට හදිසියේම මට මගේ පැරණි මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු සෑහෙන කාලයක් විදේශගත වී සිටි බව මා දැන සිටියත් අප අතර වැඩි කථාබහක් හෝ සමාගමයක් පැවතුනේ නැහැ. මා පුදුමයට පත්වූයේ ඔහු සෑහෙන කාලයකට පසු මට කථාකිරීම ගැනටත් වඩා, අවේලාවේ ඉතා හදිස්සියෙන්, කරදරයකින් මෙන් කථා කළ නිසා.

‘බුදු අම්මේ මාර කාලෙකින්නේ කථා කරේ. අනික මේ යක්කු ගස් යන වෙලාවේ? ඇයි මොකක්ද කාරණේ හදිස්සියක්ද?’ මම ඇහුවේ තරමක කුතුහලය මුසු හැගීමෙන්.
‘ඇයි ආරංචි නැද්ද?’ මිතුරා විමසුවේය. ‘මම හිතුවා උඹ දැනටමත් නිව්ස් එක දන්නවා ඇති කියලා’ ඔහු කී​වේය.
‘මොකක්ද ඔය ඔචිචර කලබල වෙන්න තරම් වෙලා තියෙන්නේ?’ මම ඇසුවෙමි.
‘ජැකා ට පිස්සු හැදිලා මචං’  ඔහු කිව්වේ තරමක වේදනාත්මක ස්වරයෙනි.
‘මොකාට පිස්සු හැදිල කියලද කිව්වේ’
‘ජැක්සන්ට බං අපේ ජැක්සන්ට’
‘මොන ජැක්සන්ද?  මටනං ඔය පරණ යාලූවන්ගේ නම්වත් මතක නෑ මචං.’
‘නෑ යකෝ මේ අපේ මහා කලාකරුවා ගැන මං කියන්නේ. අපේ ජැක්සන් ඇන්තනි.’
‘මේ අපේ ජැක්සන්ට? වෙන්න බෑ උඹට අමු කැවිලද කොහේද’ මම කීවෙම්.
‘හොඳයි උඹ විශ්වාස කරන්නේ නැහැනේ. මම ඇහින් දැක්ක හින්දනේ කියන්නේ. කොච්චර උනත් මචං අපි ඉස්සර මාර විදියට අගය කරපු ආස කරපු දක්ෂ මනුස්සයෙක්නේ. ඒකයි මම මේ වෙලාවෙම උඹට විස්තරේ කියන්න කථාකරේ. පව් බං, මට නං සංසාරේ කියලා හිතුණා.’
ඔහු කිව්වේ දැඩි වේදනාවක් මුසුවූ ස්වරයෙනි.
‘උඹට හොඳටම ෂුවර් ද?  මොකද උඹ කාලයක් ලංකාෙවි හිටියෙ නැති හින්දා වරද්දගෙනද දන්නෙ නැහැ.’
‘මට වරදින්නේ කොහොමද? මම මේ අද රූ ඉන්ටනෙට් එකෙන් ටී වී බලනකොට තමයි දැක්කේ.’
මට එකවරම සිනාගිය නමුත් මගේ මිතුරාට ඒ සිනහව එතරම් ඇල්ලූවෙ නැත. ඔහු තරමක් දැඩි ස්වරයෙන් කථාකරන්නට විය. ‘මචං කැත විදියට හිනාවෙන්න එපා. අපි කවුරුවත් හිතුවද ජීවිතේට ජැක්සන් වගේ මනුස්සයෙකුට පිස්සු හැදෙයි කියලා. කවුද දන්නේ හෙට අපිටත් පිස්සු හැදෙන්න පුලූවන්. එතකොටත් උඹ ඔහොම හිනාවෙනවද? උඹේ හිනාව සදාචාරාත්මක නෑ මචං.’

‘නෑ නෑ මම හිනාවුනේ ඒකට නෙමෙයි. උඹ කිව්වනේ දැක්කේ ටී වී එකෙන් කියලා. ඒකයි මට හිනාගියේ. ඒකනේ මම කිව්වේ නිකං කලබල වෙන්න එපා කියලා. උඹ ඔය කියන්නේ මහා සිංහලේ වංශකථාව බලල නේද? මිනිහට පිස්සු නෑ මචං ඒ හැටි.’
‘නෑ නෑ මහා සිංහලේ නෙමෙයි. මම ප‍්‍රංශෙ හිටියට නෙට් එකෙන් හැම සතියෙම ඒක බලනවා.’ ඔහු කිව්වේ තරමක් ජාතිකාභිමානයෙන් ඔදවැඞී ස්වරයෙනි.
‘ආ එහෙනං ඔය මැතිවරණ රුස්වීමිවල කථාකරනව බලල වෙන්න ඇති. නෙට් එකේ අප්ලෝඞ් කරල තියනව අම්බානකට’
‘නෑ මචං එහෙම එකක් නම් මම මෙච්චර කලබල වෙන්නෙ නැහැනේ.’
‘හරි හරි උඹ ඔය කියන්නේ අපේ සංස්ංකෘතිය ඉතිහාසය ගැන ටී වී චැනල් වල ජැක්සන් කථාකරන සංවාද අහගෙන ඉඳල නේද?’
‘උඹට පිස්සුද මචං. මේක වෙනම සීරියස් කේස් එකක්. ජෝක් එකකට ගන්න එපා. මිනිහට තදේටම පිස්සු. වැඩි එකක් තියා මිනිහ පැනල යයි කියල බයට හමු∞වෙ ඔෆිසර් කෙනෙක් ළග තියල තියෙන්නේ.’
ඒ කථාවෙන් මා මදක් ගැස්සී ගියේය.
‘හැබැයි මට තේරුණා යන විදියට මිනිහ නතරවෙන්නේ ඔතන තමයි කියලා. ඒත් මටනං තාම හිතාගන්න බැහැ ඔච්චර තදටම පිස්සුව ඔලූවට ගැහුවේ  කොහොමද කියලා?’
අනික ජැක්සන්ගේ හැටි දැක්කම දුකේ බෑ මචං. දන්නවනේ අපේ රටේ මිනිස්සුන්ට පිස්සෙක් අහුවුනාම කරන දේවල්.  මං හිතන්නේ මිනිහව අල්ලලා තට්ටෙත් ගාලාද කොහේද? කොහොමට හිටපු ගාම්භීර චරිතයක් ද?’
‘නිව්ස් වලටද පෙන්නුවේ?’ මම ඇසුවෙමි.
‘නෑ නෑ නිව්ස්වලට නෙමෙයි. මමත් අහම්බෙන් වගේ දැක්කේ. නැගෙනහිර පළාතේ කොහේදෝ ඈත පලාතක මුහුදක් අයිනේ තමයි හිටියේ.’
‘මුහුදක් අයිනේ?’
ඔව් එතන වෙරළ අයිනේ හැමොක් දෙකක් බැඳල තිබුණා. එකක හිටියේ මිනිහ පැනල යයි කියල බයට ආරක්ෂාවට දාපු හමුදාවේ ඔෆිසර්. ජැක්සන් හැමොක් එකේ හාන්සිවෙලා අහස දිහා බලාගෙන, මුහුදේ සද්දෙට වඩා සද්දෙන් කෑ ගහනවා.

‘මේක කුවේණි බිසවුන් වහන්සෙගෙ අඩවිය… අනේ විජය රජ්ජුරුවෝ බිසවුන්වහන්සේ පන්නල දැම්මනෙ දරු දෙන්නත් එක්ක. අනේ අපේ කුවේණි බිසවුන්නාන්සේ මහා හයියෙන් කෑ ගහල වැළපුණා. බිසවුන්වහන්සෙගේ වැළපිල්ල මේ ගහේ කොළේ තාම තියනවා. බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල මේ ලූණු මිශ‍්‍ර හුළගේ මුහුවෙලා තියෙනවා. මේ මහා හුළං කෝඩය කෑ ගහල අඩන්නේ නිකංම නිකං නෙමෙයි. ඒ වේදනවා ඒ වැළපිල්ල මේ හැම හුළං පාරක් එක්කම ගහගෙන ඇවිත් මගේ කණේ තියනවා. ඉතින් දෙය්යනේ කුවේණි බිසවුන්නාන්සෙගේ ඒ වැළපිල්ල අහගෙන මං කොහොමද නිදහසේ නිදාගන්නේ? ඒත් මම නිදාගන්න එපායෑ. හෙට පාන්දරින්ම කුවේණි බිසවුන්නාන්සෙගෙ අඩවියෙ ඇවිදල අපේ අක් මුල් හොයන්නත් තියනවනේ.’

‘ඔන්න ඔය වගේ මහා විකාර කථා කියව කියව මිනිහ නින්දට ගියා. මට නම් මාර දුක්ක මචං දැනුනේ. බලපං මචං දක්ෂ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ.’
‘ඉතින් අර හමුදා​වේ ඔෆිසර් මොකුත්ම කළේ නැද්ද?’
‘එයා කියලා මොනව කරන්නද මචං. මිනිහත් එපාවෙලා වගේ ඔහේ මුහුද දිහා බලාගෙන හිටියා.
‘උඹට සීයට සීයක්ම ෂුවර්ද ඒ හිටියේ ජැක්සන්මයි කියලා?’ මම ඇසුවේ මදක් අන්ද මන්ද වූ ස්වරයෙනි.
‘මට හොඳටම ෂුවර්. ඇයි මතක නැද්ද අපි ඉස්සර මිනිහ ඉන්න වේදිකා නාට්‍ය බලන්න පැල් බැඳගෙනනෙ යන්නේ. ඇයි උඹත් ගියේ.’
‘ඔව් ඔව්. ඒ හින්දම තමයි මම අහන්නේ. උඹට ෂුවර්මද මේ හිටියේ අපි ඉස්සර ආදරේ කරපු ඒ ජැක්සන්මද කියලා.’
‘මටත් මුලින් සැකයක් තිබුණා. ඒත් වැඩසටහන ඉවරවුනාම මිනිහගේ නම දැම්මා. ඒකෙන් පස්සේ තමයි මට හොඳටම ෂුවර් වුණේ.’
‘ඔහොම තමයි මචං ජීවිත. මේ හොඳට ඉන්නවා මේ පිස්සු හැදෙනවා. වෙච්ච දේ වුණා. මොනවයි කියලා කරන්නද ඉතින්? මට දුක මිනිහ පැනල යයි කියල ආරක්ෂාවට දාලා ඉන්න ඔෆිසර් ගැන. තව කොච්චර කාලයක් ඔය වැ​ඩේ කරන්න වෙයිද දන්නෙ නැහැනේ. එහෙම වුණොත් ෂුවර් එකටම මිනිහටත් පිස්සු හැදෙනවා.’

කතාව අවසන් කර මගේ මිතුරා හොටු හූරන හඩ මට හොඳින්ම ඇසුණා. පසුගිය කාලය පුරාම ලංකාවේ සිටි මට මෙවන් සෑහෙන කලාකරුවන් පිරිසක් පිස්සු හදා ගනු දුටු නිසා, ඒ දුක දරාගැනීම මටනම් එතරම්ම අමාරුවූයේ නැත. නමුත් මහා කලාකරුවකුට සිදු වූ මේ මහා ඛේදවාචකය යම් තරමකට මා සිත සලිත කළේය. අතීතයේ සිටි ගාම්භීරව යුක්තිය වෙනුවෙන් පෙනී සිටී, කලාවෙන් දේශපාලනය කළ ඒ කළාකරුවාට සිදුවූ මෙවන් අකල් විපත් කිසිදු කලාකරුවකුට සිදු නොවේවා.

Advertisements