අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්. ඒකෙන් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අපි අත්සන් කරලයි තියෙන්නේ. ඒකට අත්සන් නොකර සංවිධානයේ සාමාජිකත්වය කිසිම රටකට හිමිවෙන්නේ නැහැ. එම ප‍්‍රඥප්තිය මගින් රටේ සහ රටේ ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව වගකියන්නට සහ සුරකින්නට  ඕනෑම පත්වෙන රජයක් බැඳී ඉන්නවා. එතකොට රජයකට හිතෙන හිතෙන විදියට මානව හිමිකම්වලට වැට බඳින්න බැහැ. මානව හිමිකම් උල්ලංඝනය කරන්නත් බැහැ. ඒත් මානව හිමිකම් කියන්නේ මොනවද කියල මෙලෝ මගුලක් නොදන්න කාටහරි තර්ක කරන්න පුළුවන් අපි මොකටද ඔය එක එක සංවිධාන වල කට්ටිය කියන විදියට වැඩ කරන්නේ මේක අපේ රටනේ කියලා. ඔව්, ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට බලෙන් ඇවිත් මේකට අත්සන් කරන්න කිව්වෙ නැහැ. මේක අපේ උවමානවට අපි විසින් අත්සන් කරපු දෙයක්. සහ එසේ අත්සන් කර තිබීම ඉතාම වැදගත් දෙයක්.

නමුත් ප‍්‍රශ්නෙ තියෙන්නේ, ඒ අදාළ ප‍්‍රඥප්තියට අදාළ මානව හිමිකම් අපේ ආණ්ඩුව විසින් රකිනවද? ඒ මානව හිමිකම් විඳගැනීමේ අයිතිය ජනතාවට ලැබෙනවද? කියන ප‍්‍රශ්ණේ. ඔව්, ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒ අයිතීන්ගෙන් දසමයක්වත් රකින්න ආණ්ඩුවට උවමානවකුත් නෑ. ඉතින් රජයක් මෙන්න මෙහෙම අත්තනෝමතිකව රට පාලනය කරනකොට ඇතිවෙන අහිතකර බලපෑම් නවත්තන්න තමයි මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන, ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන, රජයට බලපෑම් කරන, මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ සංවිධානයන් ඇතිවෙන්නේ. ඉතින් රජයකට මෙන්න මේ කියන මානව හිමිකම් සංවිධාන සහ කි‍්‍රයාකාරීන් හරිම හිසරදයක්. ඒ නිසා තමයි ආණ්ඩුව මානව හිමිකම් සංවිධාන සහ එහි කි‍්‍රයාධරයන්ට පන්න පන්නා පහරදෙන්නේ.  මොකද ඔවුන් හිටියෙ නැත්නම්  ඕනම ගේමක් ලස්සනට ගහල කිසි අවුලක් නැතුව ඉන්න පුලූවන්. මොකද ජනතාවට මේ ගැන කිසිම දැනීමකුත් නැහැ. ඒ නිසාම අවශ්‍යතාවයකුත් නැහැ.

මෙන්න මේ කාරණේ ගැන අපි යාලූවෝ කීපදෙනෙක් දවසක් කථාකරා. ඇත්තට මොකටද මේ මානව හිමිකම් ගැන කතා කරන, වැඩ කරන  පිරිස? රටේ මිනිස්සු මානව හිමිකම් කන්නද කියල අහන රටක, ඇයි මේ කීපදෙනෙක් විතරක් ජීවිතේ පරදුවට තියාගෙන මේ වෙනුවෙන් අරගල කරන්නේ, පෙනී සිටින්නේ, රජයත් එක්ක හැප්පෙන්නේ? මහ බොරු වැඩක්නේ. ඔව්, එහෙම හිතෙන එකේ එක අතකින් වැරැද්දක් නැහැ වගේ පේන්න පුලූවන්. මොකද හැමතැනම අප්සට් නේ. හැමතැනම අවුල්, හැමතැනම කුණුවෙලා. හැමතැනම මේ වැඩේ වෙනවා. හැමතැනම මානව හිමිකම් කඩවෙනවා. මිනිස්සු මරණවා, උස්සනවා, අතුරුදහන් කරනවා, හිතෙන හිතෙන වෙලාවට අත් අඩංගුවට ගන්නවා, හිරේ දානවා, ගහනවා, වද දෙනවා, ඒත් මිනිස්සු ඔහේ ඉන්නවා. මොකද මේක හරිම සාමාන්‍ය දෙයක්.  ඉතින් අපි මොනව කරත් වැඩක් නෑ. මොකද බහුතරයක් ඉන්නෙ මෙන්න මේ කුණුගොඩේ, ඒ හින්දා දැං ඒක ඒගොල්ලන්ට මේ ක‍්‍රමේ පත්තියම් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් ගානට පත්වෙලා ඉවරයි.

හැබැයි වැඩිදෙනෙක් එහෙම ජීවත්උනා කියලා, හැමෝම ඒ ගොඩටම වැටිලා නිකංම නිකං කරබාගෙන හිටියොත් මොකද වෙන්නේ. තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා, මේ කීපදෙනෙක් කරගෙන යන කාර්යබාරයෙන් වැඩක් නැහැ කියල හිතන කට්ටියට මට කියන්න හිතුණ පුංචි කතාවක්. ඒක අපි හැමෝම අහල තියන කථාවක්. මඝ මාණවකයාගෙ කතාව.

විශාලා මහනුවර සිටි මහාලී කියන ලිච්ඡුවී රජතුමා එක දවසක් බුදු හාමුදුරුවෝ මුණගැහෙන් ආවා. එහෙම ඇවිත් ඇහුවා දෙව්ලොවට අධිපති ශක‍්‍ර දෙවියන්ගේ උපත සහ ඔහු ලබන උසස් වූ දිව්‍ය සම්පත්තීන් ගැන. ඒ වෙලාවේ මහාලී කියන ලිච්ඡුවි රජු අරභයා, බුදුරජානන් වහන්සේ දේශනා කළ කථාවක් තමයි මේ මඝ මානවකයාගේ කථාව. ‘මගධ කියන රටේ, මචල කියන නියම් ගමක එක්තරා තරුණයෙක් ජීවත්උනා. ඔහුගේ නම තමයි මඝ. මේ මඝ මානවකයා හරිම ධෛර්යවන්ත හොඳ ගතිගුණ තියෙන තරුණයෙක්. දවසක් මේ මානවකයා, ගමේ පැවැත්වෙන සැණකෙලියක් බලන්න ගියා. ගිහින් තමන්ට නිදහසේ හොඳින් සැණකෙලිය බලන්න පුළුවන් වෙන්න එක්තරා තැනක් තෝරාගෙන එතන හොඳින් පිරිසිදු කරල හදාගත්තා. එතැන පිරිසිදු කරල හදාගත්තට පස්සේ වෙන මිනිහෙක් එතනට ඇවිත් මඝ මානවකයා එළවල දාලා ඒ තැන අයිති කරගත්තා. මොකද එතන පිරිසිදුයි, පහසුවෙන් සැණකෙලිය නරඹන්නත් පුළුවන්. ඊට පස්සේ මඝ මානවකයා වෙනත් තැනකට ගිහින්, එතැන පිරිසිදු කරගෙන අර වගේම ලස්සන තැනක් හදාගත්තා. ඒ හදාගත්ත තැනටත් තවත් මිනිහෙක් ඇවිත් මඝ එතනින් එළවල දාලා ඒ තැන අල්ලගත්තා. මඝ මානවකයා කල්පනා කරා, කමක් නැහැ මේක හොඳ පුණ්‍ය කර්මයක් කියලා. ඊට පස්සේ එයා තැන් කිහිපයක්ම තනියෙන්ම පිරිසිදු කරල, ලස්සනට හදල මිනිස්සුන්ට නවතින්න දුන්නා. ඒ විතරක් නෙමෙයි, මං මාවත් හදල ඒවා පිරිසිදු කරල තමාගේ ගම ලස්සන කරන්න පටන් ගත්තා. මඝ මානවකගේ මේ වැඩේ ගැන පැහැදුණු තවත් සුළු පිරිසක්, එනම් 33 දෙනෙක්ගෙන් සමන්විත තරුණ පිරිසක්, මඝ තරුණයා එක්ක එකතුවෙලා මේ වැඩේට සහයෝගය දුන්නා. නමුත් අපේ ලංකාවේ වෙනව වගේම, මේ වැඩේට කොක්ක දාපු පිරිසකුත් හිටියා. මොකද මේ ගොල්ලො කරන මේ වැඩේ හින්දා මචාල ගමේ ගම්භාර නිළධාරීන්ට ලැබෙන ලාබ ප‍්‍රයෝජන නැතිවෙන්න පටන් ගත්තා.ඔවුන්ගෙ බලය අහිමිවෙන්න පටන්ගත්තා. මේ ගොල්ලන්ට මේක බලාගෙන ඉන්න බැරිඋනා. මේ කීප දෙනෙක් එකතුවෙලා කරන මේ සමාජ සද්කාර්යය නිසා, වැඩේ නිසා මචව කියන ගමේ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් උනා. ඉතින් ගම්භාර නිළධාරී ටික එකතුවෙලා මේක නවත්තන්න විවිධ ක‍්‍රම සහ විධි කල්පනා කරා. එක්වරක්, මඝ මානවකයා සහ ඔහුට සහය දෙන අයව සුරාවට සූදුවට යොමුකරන්න උත්සාහ කළා. නමුත් ඒ උත්සාහය අසාර්ථක උනා. ඊට පස්සේ මඝ මානවකට සහ පිරිසට විවිධාකාරයේ බොරු චෝදනා ඉදිරිපත් කරලා, ඔවුන් නීතියෙන් යටපත් කරන්න හැදුවා. දස වධ දෙන්න සුදානම් උනා. නමුත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බැරි උනා. (කොච්චර අප්සට් තිබුණත් අඩු තරමින් මචාල ගමේ හොඳ අධිකරණ පද්ධතියක් හරි තිබිල තියෙනවා. නැත්නම් මඝ මානවක සහ පිරිස තවමත් හිරේ) ඒ හින්දා ඔවුන් නැවතත් එකතුවෙලා තමුන් කරගෙන ගිය වැඩ කොටස දිගටම කරගෙන ගියා. අන්තිමේ මචල ගම පිරිසිදු, රම්‍ය ගම්මානයක් බවට පත්උනා. ඉතින් මඝ මානවකයා අරඹපු අර කුඩා තැනින් ඔහු වැඩේ නතර කරල දැම්මනම්, මේ තත්ත්වේ උදාවෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට යම්කිසි පිරිසක් හෝ සහාය නොදුන්නානම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා.

ඉතින් මේ කතාවෙයි අපේ මානව හිමිකම් ගැන මුලින් කියූ කථාවෙයි කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ, මොකද, මේ රටත් දැන් කුණුවෙන්න අවශ්‍ය සියළුම ආකාර වලින් කුණුවෙලා ඉවරයි. නමුත් මිනිස්සු ඒ කුණු ගොඩේ කුණු කකා හරි ජීවත්වෙනවා. කවුරුවත් කැමති නැහැ, පෙරමුණ අරගෙන මඝ මානවකයා කරපු දේ කරන්න. එහෙම ඉදිරිපත් උනත් ඒ ඉදිරිපත් වෙන අයට සහයෝගයක් දෙන්නවත් කවුරුත් කැමති නැහැ. මොකද, ඒක ලොකු රිස්ක් එකක්. ඊට වඩා හොඳයි තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන හිටියම. අනිත් කාරණේ තමයි, එහෙම ඉදිරිපත් වෙලා, ලංකාව ජීවත්වීමට වඩාත් සුදුසු තැනක් බවට නිර්මාණය කරන්න හදනකොටම, අර මඝ මානවක කථාවේ වගේම ඒ නිසා තම වරප‍්‍රසාද සහ බලය අහිමිවෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ ගොල්ලොත් කරන්නේ, අර ගම්භාර නිළධාරීන් කරපු දේමයි. එක්කෝ යම්කිසි වරප‍්‍රසාද ලබා දීලා ඔවුන්ව තමන්ගෙ ඉත්තන් කරගන්නවා, එහෙම නැත්නම් බොරු චෝදනා දාලා කොහොම හරි වැඩේ නවත්තන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් දස වධ දෙනවා ලංකාවේ ඉන්න බැරිවෙන්නම. නැත්නම් ඉතින් ඉවරයක්ම කරනවා.

ඒත් අපි තදින් විශ්වාස කරන එක දෙයක් තියනවා. පිරිස සුළු වෙන්න පුළුවන්. වැඩි පිරිසක් මිනිස්සු වැඩේ එක්ක නැතිවෙන්නත් පුළුවන්. මානව හිමිකම් අපට කන්නද කියල මිනිස්සු අහන්නත් පුළුවන්, නමුත්, සුළුවෙන් හෝ එකින් එක හෝ අපි මානව හිමිකම් දිනාගත් දාට, ඒ මිහිරි අයිතිය භුක්ති විඳින්න මිනිස්සු රොඳ බැඳලා එකතුවෙනවා. මඝ මානවකයා තැනක් පිරිසිදු කරල හදල දෙනකං, මිනිස්සුන්ට එහෙම වැඩක් කිරීම මරු වැඩක් ලෙස පෙනුනෙ නෑ. සමහරවිට මිනිස්සු හිනාවෙන්නත් ඇති මඝ මානවකට, මොකක්ද මේ තනියම මැරීගෙන කරන විකාර වැඩේ කියලා. මොකද ඒ මිනිස්සු ඉන්නේ කැලේ. එහෙම නැත්නම්, කුණු ගොඩේ. එතකොට මිනිස්සුන්ට ලස්සන සහ කැත පිළිබඳව අදහසක් එන්නෙ නෑ. ඒත් තැනක් වෙන්කරල, ලස්සන කරල, ඉතා සුවපහසුවෙන් ජීවත්වෙන්න හැදුවට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා, අඬේ මේක මරු වැඩක්නේ කියලා. ඒ හින්දා, කවුරු මොනව කිව්වත්, මේ මානව හිමිකම් සම්බන්ධ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. මඝ කථාවේ ගම්භාර නිළධාරීන් වගේම අපේ ආණ්ඩුවත් මේ වැඬේට විරුද්ධ වෙන්නේ මේක ගැන නොදැන නෙමෙයි, දැනගෙන. ජනතාවටත් ඒ ගොල්ලො කියනව මෙන්න මේ මානව හිමිකම් කාරයෝ හින්ද අපට කෙළවනවා කියලා, එතකොට ජනතාවත් හිතනවා, මේ අපට කියන්නේ අපි හැමෝටම කියලා. නැහැ, මානව හිමිකම් තියෙන්නේ ජනතාවගේ ජීවිත වලට සුන්දරත්වයක් එක්කරන දෙයක් මිසක් කෙලවෙන දෙයක් නෙමෙයි. අපි තවම ජීවත්වෙනව කියන එකේ සැබෑ තේරුම දන්නේ නැහැ. මොකද අපි ඒ මිහිරි අයිතිය විඳල නැහැ. තමුන්ගේ මානව අයිතිවාසිකම් තේරුම් අරගෙන, ඒ නිදහස සැබෑ ලෙස භුක්ති විඳින්න ඉඩ ලැබුණු දවසට, මේ හැමෝම කථා කරාවී, අපරාදේ මෙච්චර කල් මේ කුණු ගොඩේ, කුණු පණුවො වගේ ජීවත්උනේ කියලා. ඒ හින්දා, දැනුවත් වෙන්න මානව හිමිකම් පිළිබඳව. තේරුම්  ගන්න තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතිවාසිකම්. කතා කරන්න ඒ ගැන. හැබැයි අපි අතින් ඉටුවිය යුතු යුතුකම් ගැනත් ඒ වගේම සවිඥාණික වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අපට අයිතිවාසිකම් දිනාගන්න බැහැ.

එන්න, අපි හැමෝම එකතුවෙලා මේක සුද්ද කරමු. අර මඝ මානවකා කළා වගේ එක තැනකින් පටන්ගමු. ටිකෙන් ටික මේක ලස්සන කරමු. ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න උත්සාහ කරමු. එක පාරට හැමදේම වෙනස් කරන්න බැරිඋනත්, තම තමන්ගෙ පැත්තෙන් මානව හිමිකම් ගැන දැනුවත් වෙලා, තමන්ගෙ යුතුකම් ගැන දැනුවත් වෙලා, ඒ යුතුකම් ඉටුකරමින්ම තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙලා ඒ වෙනුවෙන් පෙනී සිටින්න ගත්තොත්, අපටත් ජීවත්වීම කියන්නේ මොකද්ද කියල දැනෙන විදියට ජීවත්වෙන්න පුළුවන්. ‘නිදහස’ කියන අර්ථය සැබැවින්ම අර්ථ ගැන්වෙන අපූරු රටක් පිළිබඳ මිහිරි සිහිනය යථාර්ථයක් කරගන්නත් පුළුවන්.

(විශේෂ ස්තූතිය – මඝ මානවක කථාවේ කරුණු සපයා දුන් පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමියන්ට)

Advertisements