අද දවස වෙනවිට ලංකාවේ බෝඩිංකාරයෝ විදියට ජීවත්වෙන පිරිස ගැන දළ අදහසක් හරි ඔබට තියනවද? ඇත්තටම කොච්චර පිරිසක් ඉන්නව ඇති කියලද ඔබ හිතන්නේ? ලක්ෂ 10 ක් එහෙමත් නැත්නම් ලක්ෂ 30 ක් නැත්නම් ලක්ෂ 50 ක්? නෑ, ඒ සංඛ්‍යාව ඔබ හිතනවට වඩා සෑහෙන්න ලොකුයි. මේ වෙනවිට ලංකාවේ ජීවත්වෙන බෝඩිංකාරයන්ගේ ගණන කෝටී 2 කට ආසන්නයි. ඒත් ඒක වෙන්න පුලූවන්ද? ලංකාවේ ජනගහණයත් කෝටී 2 කට ආසන්නයි. පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නැහැ? ඒක එහෙම වෙන්නේ අද දවස වනවිට ලංකාවේ කියන්නේ තව දුරටත් රටක් නොවෙන හින්දා. ලංකාව මේ වෙනකොට ‘රටක්’ කියන සංකල්පයෙන් විතැන් වෙලා‘රාජපක්ෂ වලව්ව’ බවට පත්වෙලා හමාරයි. ලාංකීය මහජනතාව කියල කියන කොට්ඨාෂය ඒ වලව්වට අයිති මහා ඉඩමේ තැන් තැන්වල අටවපු බෝඩිං වල ජීවත්වෙන ‘බෝඩිංකාරයෝ’ පිරිසක් විතරයි. ඇයි අපි එහෙම කියන්නේ. ඒක තේරුම්ගන්න හරිම ලේසියි. අද දවසේ ඔබ ලාංකිය පොළවේ පයගහල ජීවත්වෙන මනුස්සයෙක් නම්, තම තමන් ජීවත්වෙන විදිහ දිහා පොඞ්ඩක් හිතල බැලූවම මේ බෝඩිංකාර ජීවතේ ගැන හොඳටම වැටහෙන්න  ඕනේ.

රාජපක්ෂ පවුලේ අයයි, එයාලගේ නෑයොයි, වෙටි ඉන්න දැසි දස්සොයි, කොල්ලොයි බල්ලොයිලංකාව ඇතුළෙ ආතල් එකේ ගෙදර වගේ
ඉන්නෙත්, රට වැසියන් යයි සිතා සිටින අපි, බයෙන් බිරාන්ත වී කොයිවෙලේ මොනව වෙයිද කොයිවෙලේ දොට්ට දමයිද නොදැන කටවල් වහගෙන ඔහේ ඉලා ඉන්නෙත් අපි ජීවත්වෙන්නේ ‘රටක’ නොව ‘බෝඩිමක’ කියන කාරණය නිසා. අපි ඒක අංශ කීපයක් යටතේ තේරුම් කරල බලමු. බෝඩිම ගැන බෝඩිම් හිමියා කවදාවත් ඒ තරම් වදවෙන්නේ නැහැ. යාන්තං බිත්ති හතරක් අටවලා, වහලට මොනව හරි දාලා, කැඩිච්ච ඇඳක් දැම්මම බෝඩිංකාරයට ඒ හොඳටම ප‍්‍රමාණවත් කියල තමයි බෝඩිම් හිමියා හිතන්නේ. ඒකේ ජීවත්වෙන බෝඩිංකාරයා ඒක ඇතුළෙ ගෙවන ජීවන තත්ත්වය ඔහුට කොහෙත්ම අදාළ නැහැ. මාස 6 ක හරි අවුරුද්දක හරි ඇඞ්වාන්ස් එකයි, මාසික බෝඩිං ගාස්තුවයි වෙලාවට ලැබෙනවද, ලයිට් බිල්, වතුර බිල් වෙලාවට ගෙවනවද කියන කාරණය විතරයි ඔහු හොයල බලන්නනේ. ඉතින් ලංකාව කියන බෝඩිමේ ජීවත්වෙන බෝඩිංකාරයෝ විදියට අපිත් කරන්නේ අයිතිකාරයන්ට අසීමිත බදු ගෙවමින්, දරන්න බැරි ජීවන බර කොහොම හරි ඉවසගෙන ජීවත්වෙන එක විතරයි. අනිත් කාරණේ තමයි බෝඩිං ගාස්තු දවසින් දවස මාසෙන් මාසේ ඉහල යනවා මිසක් පහල බහින්නේ නැහැනේ.
ඒ වගේ තමයි අපේ බදු බරයි, බඩුවල බරයි දෙකම දවසින් දවස ඉහළ යනවා මිසක් කවදාවත් පහල බැහීමක් නම් වෙන්නේ නැහැ. බෝඩිං ගාස්තු කොච්චර ඉහළ ගියත් බෝඩිමේ තත්ත්වය වෙනස් නොවෙන්නා වගේම, අපි මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම කොතරම් බදු මුදල් ගෙව්වත් අපේ ජීවන තත්ත්වය එන්න එන්නම ප‍්‍රපාතයට ඇද වැටෙනවා මිස, කිසිදාක තිබුණු තත්ත්වයෙන් උසස් ජීවන තත්ත්වයක් අපට හිමිවන්නේ නැහැ. බෝඩිමක ජීවත්වෙනකොට අපි ජීවත්විය යුතු ක‍්‍රමයක් තියනවා. බෝඩිමේ ඉන්නවනම් අයිතිකාරයට  ඕන විදියට තමයි අපි ජීවත්වෙන්න  ඕනේ. මොන තරම් අප්සට් දේවල් සිද්ද වුනත්, ඒ ගැන කම්ප්ලේන් කරන්න, තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් ගැන කතා කරන්න බෝඩිංකාරයට බැහැ. එහෙම අයිතියක් තියනවා කියලා බෝඩිංකාරයා හිතන්නෙත් නැහැ. මොකද අයිතිවාසිකම් ගැන කථාකිරීම අයිතිකාරයට මළ පනින්න හේතුවෙන නිසා. බෝඩිං කාරයා තරහවුණොත් කොහෙන් කෙළවර වෙයිද කියල කවුද දන්නේ. ඒ නිසා කට වහගෙන කියන විදියකට ජීවත්වෙන එක තමයි නුවණට හුරු කියලයි හැමෝම හිතන්නේ. අපේ රට වැසියන් වැයි කියන සියල්ලන්මත් දැන් කරන්නේ ඒකම තමයි. තමන්ගේ අයිතිවාසිකම් කඩවුණත්, තමන්ට මොන විදියේ වැරුද්දක් වුණත්, ජීවත්වෙන්න කොයිතරම් අමාරු උනත්, කට වහගෙන අයිතිකාරයා කියන විදියකට කොහොම හරි ඔහේ ජීවත්වෙනවා. ඒක කොයිතරම් ෂෝක්ද?

සාමාන්‍යයෙන් බෝඩිමක අඩුපාඩු දහසකුත් එකක් තියනවා. ඒක ගැන ආයේ අමුතුවෙන් කියන්  ඕනේ නැහැනේ. ඒත් ඒ ගැන කථා කරොත් සාමන්‍යයෙන් අයිතිකාරයා අපට දෙන්නේ මෙන්න මේ වගේ උත්තර…..‘බෝඩිමේ මදුරුවො වැඩිය’ කිව්වොත් ‘ තමසෙට  ඕන්නං වත්ත සුද්දකරල දානවා’ කියයි. ‘සල්ලි තියනවනම් නෙට් එකක් ගෙනත් දාගන්නවා’ කියයි. ‘ඇයි දැන් ඔය  ඕනතරම් මදුරු කොයිල් තියෙන්නේ කඩවල’ කියයි. ‘කාමරෙ බල්බ් එකක් පිච්චුණොත්, නැත්නම් කරන්ටි අවුලක් උනොත් ‘තමුසෙට  ඕන්නං හදාගන්නවා නැත්නං කලූවරේ ඉන්නවා’ කියයි. ටැප් එකේ වතුර එන්නේ හිමින් කිව්වොත් ‘ඇයි තමසෙ ඉල්ලන්නේ දිය ඇල්ලක්ද?’ කියල අහයි. ලයිටි වලට, වතුර වලට අයකරගන්න ගාන වැඩියි කිව්වොත් ‘හැමතැනම මේ වගේ තමයි අය්සේ. අපි තමයි මෙහෙම හරි අඩුවට දෙන්නේ . ගෙවන්න බැරිනං ගනන් අඩුතැනක් හොයාගෙන යනවා’ කියයි. ඉතින් ලංකාව කියන බෝඞ්මෙත් අයිතිකරුවන්ගෙන් අපේ ප‍්‍රශ්ණ වලට ලැබෙන්නේ මේ වගේම උත්තර විතරයි.
බඩුමිල ගැන, ගෑස් මිල ගැන, පිටි මිල ගැන ඇහුවම බන්දුල ගුණවර්ධන පහුගිය කාලේ දුන්නෙත් මේ වගේම උත්තර තමයි. දැන් විමල් වීරවංශත් වැඩේට සපෝට් කරනවා. මිනිහ දෙන්නෙත් ඒ වගේ උත්තරම තමයි. ‘පිටි ත‍්‍රස්තවාදය” කියල අලුතෙන් ගෙනාවේ ඒ වගේ උත්තරයක් තමයි.
ලංකාවේ ඉස්පිරිතාල වල තියන අවුල් ගැන, ප‍්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වීම ගැන, බෙහෙත් වල තියන අප්සට් ගැන, ඩෙංගුවලින් මිනිස්සු මැරෙන එක ගැන නිමල් සිරිපාල ලොක්කා  දුන්නෙත් මීට සමානම නැත්නම් මීටත් වඩා මඥ්ඥං උත්තරම තමයි. මොන අවුලක් ගැන කොච්චර කම්ප්ලේන් කරත්, අවසානයට අහන්න හම්බවුනෙත් ඉස්සරහට අහන්න අහම්බවෙන්නෙත් ‘තමසෙලට මේ විදියට ඉන්න පුලුවන් නම් ඉන්නවා, බැරිනම් බම්බුගහගන්නවා’ වගේ උත්තර විතරයි.

ඒ අපි කථා කළේ ජීවන තත්ත්වය සහ ජීවත්වීමේ අමාරුව ගැන විතරයි. ඊට වඩා බරපතල ලොකු අමාරුකම් බෝඩිං ඇතුළෙ සිද්දවෙනවා. බෝඩිමක ජීවත්වෙන මනුස්සෙයකුට මහන්සිවෙලා ගෙදර අවාම, සද්දෙට සිංදුවක් දාගෙන අහන්න බැහැ. නිදහසේ ෆිල්ම් එකක් බලන්න බැහැ. යාලුවො ගෙන්නගෙන පොඞ් ආතල් එකක් ගන්න බැහැ. බොන්න බැහැ. බීලා එන්න බැහැ. ? රෑ වෙන්න බැහැ. ? රෑ පාන්දර වෙනකන් ලයිටි දාගෙන ඉන්න බැහැ. මේ වගේ සංස්කෘතික ගැටලු රැසකට බෝඩිංකාරයා භාජනය වෙනවා. ඒත් ගෙවල් අයිතිකාරයටයි, එයාගේ පවුලේ අයටයි, නෑ හිතවතුන්ටයි, දැසි දස්සන්ටයි විතරක් නෙමෙයි, ලොක්ක්ගේ කකුල් ලෙවකන බල්ලන්ටත් බෝඩිංකාරයට නැති තරම් කැමති දෙයක් කිරිමේ මාර නිදහසක් සහ අයිතියක් ලැබෙනවා. ඒ හැමෝටම තමන් කැමති  ඕනේ දෙයක් තමන්ගේ ගෙදර වගේ ඉඳගෙන කරන්න පුලුවන්. කැමති දෙයක්, කැමති විදියකට, කැමති තැනක ඉඳන් බොන්න පුලුවන්. හිතුණොත් එළිවෙනකම් මහ සද්දෙට බජව් දාන්න පුලුවන්. කැමති කෙනෙක් ගෙදර එක්කං එන්න පුලුවන්. ජොලියක් ගන්න  ඕන නම් වටේම ඉන්න බෝඩිංකාරයන්ට ගිහින් පොඩි පාට් එකක් දාන්න පුලුවන්. මේ ආකාරයට  ඕනෑම ආතල් එකක් ගැනීමේ පූර්ණ අයිතිය ඔවුන් සතුව තිබෙනවා. ලංකාව කියන බෝඩිමේ වෙන්නෙත් ඔය ටිකම තමයි. අපේ වින්දනය අපේ කලචර් එක හැඩගැහෙන්  ඕනේ කොහොමද  කියල තීරණය කරන්නේ අයිතිකාරයයි, ඔහුගේ පවුලේ අයයි, හිතවත්තුයි. ‘මතට තිත’ කියල බොරු විකාර කථා ජනතාවට දාලා, අරලියගහ මන්දිරේට තමන් කැමති අය ගෙන්නල නාන්න බොන්න දෙන්නෙත්, මර්වින් සිල්වා කැළනියේ බාර් නීතිය කැලෑ නීතියක් කරගෙන පිස්සු නටන්නෙත්, මෙන්න මේ බෝඩිං යථාර්තය නිසාමයි. රූපවාහිනියේ පෙන්නන හැම මගුලකම සිගරට් බොන, අරක්කු බොන දර්ශනවලට කොටු දමමින්, සිප වැළඳගැනීම් කරන දර්ශන වලට කොටු දමමින්, නර්මාණයක් සැබෑ ලෙස රස විඳිමේ අයිතිය අමු අමුවේ මරා දමන්නේත්, ‘අක්ෂරය’ වැනි සිනමාකෘති වලට වැට බඳිමින් රජයට කඬේ යන සිනමාකරුවන්ගේ ඔල්මොරොන්දම් සිනමා කෘති ඇති පදම් ප‍්‍රමෝට් කරන්නේත්, අපි බැලිය යුත්තේ, ඇසිය යුත්තේ මොනවාද යන්න ඔවුන්ම තීරණය කරන්නේත් මෙන්න මේ බෝඩිං යථාර්තය නිසායි. අපේ සංස්කෘතිය, අපේ රසඥතාවය පිළිබඳ තීරණ සියතට ගනිමින්, AKON වැනි ලෝකප‍්‍රසිද්ධ ගායකයකු තමන්ගේ වීඩියෝ පටයක බදුන්ගේ පිළිමයක් පසුතලය කරගැනීම වැනි අතිශය සරළ හේතුවක් මත, එය බුදු දහම කෙළසීමට කරන ලද මහත් අගෞරවයක් යැයි කට මැත දොඩා, උද්ඝෝෂණ කර, මාධ්‍ය ආයතනව වලට පහරදී, ලංකාවට ගෙන්වීම තහනම් කරමින් ලාංකිකයට පුලුල් ගෝලිය වින්දන අවකාශයක් ලබන්නට තිබූ අතිශය දුලභ අවස්ථාව අහිමිකරන්නේත් තමන්ගේ බලය පෙන්විමේ තවත් එක් පියවරක් ලෙසිනි. ඒ පිළිබඳ මහා දේශනා දෙන ඔවුන්ම, රට තුළ බුදු පිළිමවල ශීර්ෂය බිඳ, විනාශ කොට තම මල්ල තරකර ගන්නේත්, හාමුදුරුවරුන්ට පහර දී, වෘෂණ කෝෂ මිරිකන්නේත්, ජනතාවගේ මුදලින්ම විදේශගතවී තමන් සහ තමන්ට හිතැති වන්දිබට්ටයන් සමගින් කැමති කැමති ලෙස ඇති පදම් ආතල් ගන්නේත් ඒ නිසායි.

ලංකාව කියන බෝඩිම ඇතුළේ ජීවත්වෙන බෝඩිකාරයන් වන අපිට අපි කැමති පිරිසක් එක්ක සමග එක්වී, අපට කැමති දෙයක් කරන්නටත් අයිතිකරුවන් ඉඩදෙන්නේ නැහැ. එය කොතරම් දුරට මර්ධනය කරලද කියනවනම්, අඩු තරමින් පෝස්ටර් එකක් ගසා හෝ විරුද්ධත්වය දක්වන්න බැහැ. එය එසේ කිරීම අනිත් බෝඩිංකාරයන්ට බාදාවක් කියලා ඔවුන්ම තීරණය කරලා එයට අවශ්‍ය නිසි බෙහෙත් පොලිසිය හෝ රජයේ මැරයන් මගින් ලබාදෙනවා. (හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල, තම රාජකාඣිය නිසි පරිදි ඉටු නොකර පිස්සු කෙළියේ, ජනතාවට බෙහෙත් දීම පොලීසිය සතු වගකීමක් යැයි වරදවා වටහා ගත් නිසායි.) මේ ආකාරයෙන් බැලූ කළ, ජීවන තත්ත්වය අතින්, අයිතිවාසිකම් අතින්, රසවින්දනය අතින්, පොදු පහසුකම් ලැබීමේ අයිතිය අතින්, අදහස් ප‍්‍රකාශකරීමේ අයිතිය ඈ සියලූම මිනිස් අයිතිවාසිකම් අද දවස වන විට රාජපක්ෂ වලව්වේ වෙසෙන බෝඩිංකරුවන් වන අපට අහිමි වී තිබෙනවා. නමුත් පැවසිය යුතු තවත් වැදගත්ම දෙයක් තියනවා.. එයනම්, මේ ඇතිවී තිබෙන තත්ත්වය ඇතුලු, ඉදිරියට සිදුවන්නට යන  මේ සියල්ලටම වගකිවයුතු වන්නේ අන් කිසිවෙකු නොව මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට පාර කැපූ ‘අපි අපිම’ බවයි. ඒ නිදහසේ තමන් කැමති ලෙස ජීවත්වීමේ සියලු අයිතීන් අප විසින්ම මල් වට්ට්යක තබා රාජපක්ෂ මහතා ඇතුලූ ආණ්ඩුවට පූජා කළේ අපි අපිම නිසායි. අප සතු වූ සියලු වත්කම් සහ අයිතීන් සියල්ල සින්නක්කර ඔප්පුවකින් ඔවුන්ට ලියා අයිතිය ලබා දුන් නිසායි. ඒ බෝඩිංකරුවන්ට කිසිදු අයිතිවාසිකමක් නැතැයි, සියල්ල උහුලා, කට බලියාගෙන තවමත් ඔහේ ඉන්නා නිසායි. ඒ, රාජ්‍ය මර්ධනය, දූෂණය, සහ නාස්තිය ඇතුළු මේ සියලු ව්‍යසනයන් සියැසින්ම දකිමින් සාධුකාර දෙමින්, රජ ගුණ වයමින්  තවමත් වන්දනාවේ යන නිසායි.
රාජපක්ෂ වලව්වට ජයම වේවා… කටක් තිබෙන්නේ කන්න පමණක්යැයි සිතා සිටිනා බෝඩිංකරුවන්ට තව තවත් කෙලම වේවා..