සාමයේ පණිවිඩය
ගෙනගියා අපි
ඒ කොණින් මේ කොණට
මේ කොණින් ඒ කොණට
නිදහසේ බුල්ඩෝසරයේ නැගී
අභිමානයෙන්
ජවයෙන්
මේ නුහුරු බිම උඩින්

කටු ඉපල් සහ වල් මෙන්ම
පළාවන් කෙත් උඩින්
ළපටි අත් දළු සොලවන
කුඩා තල් පැල මතින්
මල් පිපෙන්නට සිටි
දහස් මල් පැල මතින්
පිපුණු මල් පෙති මතින්

දැන් මෙබිම හිස්ය
සියල්ලෙන් නිදහස්ය…

මේ පොළව හඳුනන
ඒ මත ඉපිද දැඩිඋන
තැලී පොඩිවී මියැදුන
දහස් ගස්වල මුල් මත
යළිත් වැස්සක් වැටී
ජීවිතය
හිමි හිමින් දළු දමා නැගෙනතුරු…

දැනට මේ බිම හිස්ය
සියල්ලෙන් නිදහස්ය…