ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට ලංකාවට එනවා කියල අහපු වෙලාවේ මම මගේ යාළුවො හතර පස්දෙනෙකුට කථා කරා කොහොම හරි ලයිව් මැච් එකක් බලන්න යන්න. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි, මම ඇතුළුව අපේ යාළුවෝ හැමෝම වගේ  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට එච්චර කැමැත්තක් නැහැ.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලො තමයි ලෝකෙම කි‍්‍රකට් ලොක්කො කියලා. ඒ හින්දා අලි ඔලුවෙන් ඉන්නේ. අපි දුප්පත් රටක් හින්දා සහ අපේ හම කළු හින්දා උන් ලංකාවේ කී‍්‍රඩකයෝ එච්චර ගණන් ගන්නෙත් නැහැ. සුද්දෝ ඔහොම්මයි. අපි හැමෝම මේ නිසා තීරණය කරා අපේ ටීම් එකට ෆුල් සපෝට් එකක් දෙන්න  ඕන,  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට නැතිවෙන්න ගහන්න කියලා. අපි ඒ මොහොතේ අපිටවත් හිතාගන්න බැරි තරම් ශී‍්‍ර ලාංකීක උනා. හිතාගන්න බැරි තරමට දේශහිතෛශී උනා. හිතාගන්න බැරි තරම් කි‍්‍රකට් ලෝලීන් උනා. ඉතින් අපි කථා කරගත්තා අපේ ටීම් එකට හොඳ මොරාල් සපෝට් එකක් දෙන්න ගේම් එකට බහින්න  ඕන කියලා. එදාට අඳින්න  ඕන දේවල් සහ  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක ජෝක් කරන විදියෙ බැනර් අඳින එක ගැන වගේ ගොඩාක් දේවල් ගැන අපි කථා කරගත්තා.

ඔන්න  ඕස්ටේ‍්‍රලියන් ටීම් එක ලංකාවට ආවා. පළවෙනි එක්දින තරගය පැවැත්වෙන දවසේ උදේ මම මගේ යාළුවෙක්ට කථා කළා. මචං ඔක්කොම රෙඩි නේද, මම තව පැයෙන් එනවා කියලා. හරි හරි උඹ ඉස්සෙල්ලා මෙහේට වරෙන්කෝ කියල මගෙ යාළුවා කිව්වා. මං ඔඩෙල් එකෙන් ගත්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ටී ෂර්ට් එකකුත් ඇඳගෙන යාළුවගෙ ගෙදරට ගියා. යද්දී මිනිහ ඉන්නව ෂෝට් එකක් ගහගෙන නින්දෙන් නැගිට්ට ගමන් වගේ. මං ඇහුවා ඔහොමද යන්නේ කියලා. පොඞ්ඩක් හිටපන්කො කියන්න, මගේ යාළුවා කිව්වා. අපි ගියා මිනිහගෙ රූම් එකට. කෝ අනිත් එවුන්, කීයටද එන්නේ මං ඇහුවා. නිහාල් ට නම් එන්න වෙන්නේ නෑ කිව්ව මචං, උගෙ ගර්ල්ගෙ සීයා නැතිවෙලා. ඉතින් නිහාල් යනව කිව්ව ගර්ල්ව ඇරලවන්න රත්නපුරේ. එතකොට සම්පත්? මං ඇහුවා. මිනිහනම් ඊයෙත් කිව්වා එනවමයි කියලා, අද හදිස්සියෙම ඔෆිස් එකේ වැඩක් සෙට්වෙලා. එතකොට අනිත් තුන්දෙනා? මං ඇහුවෙ වැඬේ අබ්ලික් වේගෙන එන බව තේරුණු නිසා. බුද්ධිකයා ට්‍රයි එකක් දෙන්නම් කිව්වා, අනිත් දෙන්න නම් දැන් මග එනව ඇති. ඒ කියනකොටම අනිත් යාළුවො දෙන්නත් ආවා. අම්මෝ ඇති යන්තං උඹල දෙන්න හරි ආවා. මං කිව්වා. ඒත් කෝ අර ඇඳං එනව කිව්ව බැනර්? අනික බලපංකො උඹල නිකං ඇඳල තියෙන්නෙත් කිසි කි‍්‍රකටින් ෆීල් එකක් නැති ෂර්ට් නේ බන්. බැනර් අඳින්න තමා හිටියේ. මේ ටිකේ ටිකක් ටයිටි මචං, මොකුත්ම කරන්න බැරිඋනා. හරි හරි අපි හතරදෙනා හරි යමුකො එහෙනම් මං කිව්වා.

ඔය අතරෙ එක යාළුවෙක් වෙනම අදහසක් දැම්මා. දැන් අපි ග්රව්න්ඞ් එකට යන්නම  ඕනෙද මේකට? ඒ කතාව අහල නම් මට අම්බානක තදඋනා. ඇයි දෙය්යනේ ග‍්‍රවුන්ඞ් එකට යන්නෙ නැතුව කොහොමද අපි සපෝට් කරන්නේ? පිස්සුනම් කෙලින්න ලෑස්තිවෙන්න එපා මම කිව්වා. ඒ එක්කම අර ගෙදර හිටපු යාළුවත් මේ වැඬේ ගැන මෙහෙම කියන්න ගත්තා. දැන් මේකනේ මචං වැඬේ, අපි හතර දෙනා ගියා කියලා ඔතන මාර සද්දයක් දාන්න බෑනේ. අනික තව සෑහෙන්න ඇවුන් එනවනේ ච්යර් කරන්න. අපි ගෙදර ඉඳන් බියර් එකක් ගහල ආතල් එකේ මැච් එක බලමු කියලා. දැන් එන්න එන්නම වැඬේ නොකෙරෙන පැත්තට සාධාරණ හේතු ගලාගෙන එනවා.
අනික අපි ගියා කියමුකෝ, ග‍්‍රවුන්ඞ් එක ළගට බස් යන්නෙ නෑනේ. අපිට වීල් එකක් අරන් තමයි යන්න වෙන්නේ. අනික ඬේ ඇන්ඞ් නයිට් එකක් නිසා මැච් එක ඉවරවෙලා එන්න ගියාම ෆුල් අනාථයි. ඒ වෙලාවට බසුත් නැහැ. හොඳ ප්ලේස් එකක් අහුවෙයිද දන්නෙත් නැහැනෙ මචං වාඩිවෙන්න. ගෙදර හිටිය නම් නිදහසේ හොඳ ආතල් එකක් අරන් රිප්ලේ ඔක්කොමත් එක්ක ලස්සනට බලන්න පුළුවන්නේ. ඒ එක්කම එක යාළුවෙක් බෑග් එකෙන් බෝතලයක් ඇදල ගත්තා එළියට. මැච් බලන්න යන ගමන එතනින්ම කෙළවර උනා.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට ගේමක් දෙන වැඬේට සපෝට් කරන්න යන්න ප්ලෑන් කරද්දී අපට ඇතිවෙච්ච ජාතිමාමක හැගීම්, දේශහිතෛශී හැගීම්, ශී‍්‍ර ලාංකීය හැගීම් ඔක්කොම එකපාරටම නැතිවෙලා ගියා.
ඊට පස්සේ අපි යාළුවගෙ කාමරේ තියන ලොකු ටී වී එක සද්දෙට දාගෙන පොඩි ෂොට් එකක් දාමින් මැච් එක බැලූවා.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකේ විකට් යනකොට කෑ ගැහුවා. උඩ පැන්නා. අපේ අය හයේ හතර ගහනකොට ෆුල් සද්දෙට චියර් කරා. එකිනෙකා බදාගත්තා. ඒත් අන්තිමේ මැච් එකෙන් ලංකාව පැරදුනා. එක අතකට අපි නොගිය එකත් හොඳයි, මොකෝ අපි හතරදෙනා ගියා කියලා මැච් එක දිනන්නෙ නෑනේ. නිකං කට්ට කන්න වෙන එක විතරයි. මගේ යාළුවා කිව්වා. අපිට මාර අප්සෙට්. ඒ දුකටම අපි තව බෝතලයක් ගෙනත් බීලා එතනම වැටිල නිදාගත්තා.

මම මේ සිදුවීම ගැන කිව්වේ අද දවසේ ලාංකීකයන් බහුතරයක්  ඕනෑම වැඩක් වෙනුවෙන් පෙනී සිටින්නේ මෙන්න මේ ආකාරයෙන් බව පහදල දෙන්න. හැමෝම අයුක්තියට එරෙහියි, අසාධාරණයට එරෙහියි, අතුරුදහන්වීම් වලට එරෙහියි, ඒකාධිපති වියරුවට එරෙහියි, මානව හිමිකම් කඩවීම් වලට එරෙහියි, ලෝක බැංකුවට එරෙහියි, විදේශ රටවල අතපෙවීම් වලට එරෙහියි, බඩු මිල ඉහල යෑමට එරෙහියි, මාධ්‍ය නිදහස නැතිකිරීමට එරෙහියි, දූෂණයට වංචාවට එරෙහියි, රාජ්‍ය මර්ධනයට එරෙහියි, නමුත් ඒ එරෙහිවෙන්නේ තමන් ඉන්න තැන ඒ විදියටම ආතල් එකේ ඉන්න ගමන්. තමන්ගේ අනෙකුත් සියළුම පෞද්ගලික උවමනා එපාකම් සිදුකරගෙන අවසන් වූ ගමන්. වෙන අර්ථයකින් පවසනවා නම්, වෙන කරන්නම දෙයක් නැති නිසා ෆේස්බුක් එකට ලොග්වෙලා පිස්සු කෙලින ගමන්. එහෙම නැතුව කවුරුවත් ග‍්‍රවුන්ඞ් එකට බහින්නේ නෑ. මොකද ඒක කට්ට කන වැඩක්. තමන් ඉන්න තැනම නිදහසේ ඉඳගෙන ෆේස්බුක් දේශපාලනය කිරීම කොයිතරම් ලේසිද? කොයිතරම් ආතල්ද? මම මෙහෙම කියන්නේ ෆේස්බුක් හෝ වෙබ් අඩවි හරහා දේශපාලනය කිරීම වැඩක් නැති දෙයක් ලෙස සලකලා නෙමෙයි. ෆේස්බුක් සහ අනෙකුත් වෙබ් අඩවි මේ කාර්යයට හොඳ අවියක් ලෙස යොදාගන්න පුළුවන්. නමුත් සැබෑ ලෙසම සටන පොළවේ දියත්වෙනකොට, ෆේස්බුක් හරහා තම මතවාදය අවියක් කොටගත් තනි තනි මිනිසුන් බහුතරයක්, තමන්ගේ මතවාදය නියෝජනය කරමින් බිමට බහින්නෙ නැති එකයි ප‍්‍රශ්ණේ.
මෑත කාලයේ අපේ රටේ සිදුවූ සිදුවීම් දෙස බලනවිට අපට මෙය වඩාත් හොඳින් පෙනී යනවා. යුද්ධය අවසන් වී වසරක් ඉක්මගොස් ඇතත්, තවමත් උතුරු නැගෙනහිර ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසඳුම් ලැබී නැත. යුද්ධය අවසානයේ මහා වීරයෙක් වූ සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයකට පත්කොට සිරගත කොට තිබේ. මාධ්‍යවේදීන් මරා දමනු ලබන අතරම අතුරුදහන් වීම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. ප‍්‍රදීප් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් කර වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබේ. අත්තනෝමතික ලෙස තම පාලනය කාලය දීර්ඝ කරගන්නට ජනාධිපති රාජපක්ෂ මහතා කෙසේ හෝ 18 වෙනි සංශෝධනය සම්මත කරවාගෙන ඒකාධිපති පාලනයකට රට ගෙනයෑමේ වැඩපිළිවෙල අරඹා තිබේ. විදේශ රටවල උවමනාවන් මත සිදුකරන විකාර ව්‍යාපෘති සඳහා මෙන්ම සිය ගණන් තමන්ට හිතවත් දේශපාලන මිතුරු මිතුරියන් විදේශ සංචාර රැුගෙන යන්නට මහජන මුදල් කෝට් ගණනින් වියදම් කරමින් පිස්සු කෙලිමින් සිටියි. මේ ආදී දහසකුත් එකක් කරුණුවලට එරෙහිව සැබෑ ලෙසම සංවිධානය වන්නේ කීයෙන කීදෙනාද? ඒ සඳහා දරන්නට වෙන අවදානම ගැන නොසිතා, ඒ වෙනුවෙන් ගෙවන්නට වෙන වන්දිය ගැන නොසිතා සැබෑ ලෙසම ග‍්‍රවුන්ඞ් එකට බැස වැඩකරන්නේ රටේ ජනතාවගෙනි කුමන ප‍්‍රතිශතයක්ද? නමුත් හවසට ෂොට් එකක් දාන්න සෙට්වූ විට, බස් එකේ යන එන විට, කාර්යාලයේ මිතුරන් සම`ග සිටින විට, වැස්සකට බස් නැවතුමකට වී සිටින විට, අන්තර්ජාලයේ සැරිසරන විට, පැරණි මිතුරන් මුණගැසුනු විට, මේ සියළු අසාධාරණයන්ට විරුද්ධව හ`ඩ නගන සහ ඒවාට විරුද්ධව කි‍්‍රයාකළ යුතුයැයි පවසන කොතරම් මිනිසුන් අපට මුණ ගැසී තිබේද? ප‍්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ගැන වෙබ් පිටු අස්සේ ලියමින්, අතුරුදහන් වී ගතවී ඇති දවස් ගණන ගැන ලොකුවට දමමින් ආතල් දේශපාලනයේ නිරතවන කෙතරම් පිරිසක් අපට මුණ ගැසී ඇත්ද? දහ අට වැනි සංශෝධනයට විරුද්ධව පාරට බසිමු යැයි එක්තරා පිරිසක් පෙරමුණ ගෙන කටයුතුකරද්දී, ග‍්‍රවුන්ඞ් එකට බැස ඊට සහයෝගය නොදී, ජන මතය පිළිබිඹු කළ හැකි සියළුම අවස්ථාවන් මග හරිමින් ෆේස්බුක් එකේ ස්ටේටස් හරහා පමණක් ඊට විරුද්ද වූ කෙතරම් පිරිසක් අපට මුණගැසී ඇත්ද?
රජයට එරෙහිව පෝස්ටර් ගැසීම තහනම් බව රජය පවසන විට, එය නොතකා පාරට බැස ඊට විරුද්ධ ජනමතය ගොඩනගන්නට පිරිසක් දිවි හිමියෙන් වීථි බසින විට, තවත් පිරිසක් අන්තර්ජාලය හරහා තම විරෝධය වචන වලින් සනිටුහන් කර ආතල් ගෙන තිබේද? තමන් ඉන්නා තැනම, තමන්ගේ සියළුම වැඩ ඉටුකරගනිමින්, වෙන කරන්නම දෙයක් නැති කමට ෆේස්බුක් එකට වී ජාතීමාමකයින්, දේශහිතෛශීන්, දේශපේ‍්‍රමීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නන්, ඒකාධිපතිවාදයට එරෙහිවන්නන්ට අපට කියන්ට ඇත්තේ එක් දෙයක් පමණි. මේ ආතල් දේශපාලනය කිරීම හරහා අප පතනා කිසිඳු වෙනසක් සිදුකරගැනීමට අපට කිසිදා හැකිවන්නේ නැත. ඒ සඳහා අප පොළවට බැසිය යුතුමය. මෙවන් අවධානම් කාලයක සියල්ල පසෙක දමා එළියට බසින්නැයි අප ඔබට පවසන්නේද නැත.  ඕස්ටේ‍්‍රලියන් ටීම් එකට ගේම් එකක් දීමට අපේ පැත්තෙන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගයට බහිනවා විනා, සමස්ථ ජනතාවම ගොස් කි‍්‍රකට් ගැසිය යුතු නැත. නමුත්, අවශ්‍ය වන්නේ සහයෝගයයි. සෘජුවම තරගයට බැස තිබෙන කිහිපදෙනා වෙනුවෙන් පෙනී සිටින්නට, ඔවුන්ට සහයෝගය දක්වන්නට, ඔවුන්ගේ කාර්ය වෙනුවෙන් චියර් කරන්නට, ඔවුන්ව දිරිමත් කරන්නට, ඔවුන්ගේ පසුපසින් මහා ජනතා බලවේගයක් නිරතුරුව ගැවසෙන බව පෙන්වා දෙන්නට, ප‍්‍රතිවාදීන් මානසිකව හෝ බිම දමන්නට, ඔවුන් තරග වදිනා ග‍්‍රවුන්ඞ් එකට බසින්නට කාලය එළඹ තිබේ. ඔබට දැක්විය හැකි අවම සහයෝගය එයයි.
ටී වී එක ඉස්සරහ ඉඳගෙන කොයිතරම් චියර් කළත්, කෙතරම් විසිල් ගැහුවත්, කොතරම් හ`ඩින් කෑ ගැසුවත්, තරගයේ නියැළෙන කණ්ඩායමට එය ඇසෙන්නේ නැත. එමගින් ඔවුන්ට ජීවයක් ලැබෙන්නේ නැත. එමගින් ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ යන්නේ නැත. ඔවුන්ට එය දිරියක් වන්නේද නැත. පරිගණක තිරයෙන්, රූපවාහීනි තිරයෙන් බලා චියර් කිරීමේ ආතල් දේශපාලනය අතහැර, බැනර් කොඩි රුගෙන පිට්ටනියට එන්න. තනි තනිව තම මතය නොපෙනනා මානයක සිට පවසනවාට වඩා, සියළු මතවාදයන් එක් තැනකට රැුස්වෙන තැනකට ඔබේ මතය රැුගෙන එන්න. මේ සටන ඉදිරියට ගෙනයන්න හවුල් වෙන්න. අඩුම තරමින් විසිල් පාරක් හරි ගහන්න. සයිබර් අවකාශයෙන් ඉඳහිට හෝ පොළවට බසින්න, එසේ නැතිනම්, ඔබේ සොහොන් කොත සයිබර් අවකාශයේම නිර්මාණය කරගන්න. මක්නිසාද යත් අප දිගින් දිගටම සිදුකරනා මේ ආතල් එකේ කරනා දේශපාලනයම,  අනාගතයේ දිනක මියගිය පසු නිදහසේ වළදමන්නට අපට නිදහස් බිමක්වත් ඉතිරිනොකරන්නට වග බලා ගන්නා නිසාවෙනි.

ඉන්දික ගුණවර්ධන –  2010-11-16

Advertisements