මේ ලගදි දවසක මම හදිසියේම ගමේ ගියා. මරණ ගෙදරකට සහභාගිවෙන්න. මළගෙදර ඉවරවෙලා ආයෙමත් එන අතරෙ මම ගියා පරණ යාලුවෙක් මුනගැහෙන්න.මම එහේ යනකොට යාලුවගෙ ගෙදර මිනිස්සු පිරිලා වටවෙලා ඉන්නවා ටී වී එක වටේ. මම එතන්ට ගිහින් විනාඩි දහයක් විතර යනකන් මගේ යාලුව පවා මාව දැක්කෙ නැහැ. ඒ තරමට ඒ​ ​අයගෙ අවධානය යොමුවෙලා තිබුණේ ටී වී එකට. මම බැලුවා මොකද්ද මේ තරම් උවමනාවෙන් ජනතාව එකතුවෙලා බලන්නෙ කියලා.බැලුවම මේ රෙස්ලින් මැච් එකක්.දැන් ගමටත් සැටලයිට් ටී වී ඇවිල්ල නිසා, ගොඩක් ගෙවල් වල අයට​ පෙර නොදැකපු දේවල් බලාගන්න පුළුවන් වෙලා තියනවා. ඒ වෙලාවෙ ටී වී එකේ ගියේ ජෝන් සිනා සහ තවත් හාදයෙක්ගෙ රෙස්ලින් මැච් එකක්. මම රෙස්ලින් වලට කොහෙත්ම කැමති නැහැ. අනික රෙස්ලින් කියන්නෙ සම්පූර්ණයෙන්ම බොරු රගපෑමක් කියල දැන දැනම මෝඩයෙක් වගේ රෙස්ලින් බලන්න මට කොහෙත්ම උවමනාවක් තිබුණෙත් නෑ. එත් මොනව කරන්නද, එතන හිටපු සෙනග එක්කෙනෙක්වත් හෙල්ලෙන්නෙවත් නැති පාටයි. අඩු තරමේ මගෙ යාළුවා වත්. ඒ හැමෝම හරියට වහ වැටිලා වගේ ඒ දිහා බලාගෙනම ඉන්නවා. ඒ මදිවට ඒ ගොල්ලො එක එක ක්‍රීඩකයන්ට චියර් කරනවා. සපෝට් කරනවා.

මම ඒ දිහා විනාඩි දහයක් විස්සක් විතර ඒ දිහා බලා හිටියා. බලන් ඉන්න බැරිම තැන මම යාලුවගෙන් ඇහුවා “ඇයි මේ තරම් තඩි බොරුවක් දිහා ඔච්චර සීරියස් පිට බලා ඉන්නේ ?” කියලා.යාළුවා එකපාරටම පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. “ඔයා කොහොමද කියන්නේ මේක බොරුවක් කියලා. මේක ෆුල් සිරාවටම යන ගේමක්. ඔයා දන්නෙ නෑ, ගිය සතියේ බැටිස්ටා, ජෝන් සීනට ​චැලෙන්ජ් කරා ගේමක් දෙනව කියලා. මිනිහගේ පරණ කෝන්තරයක් තියනවා සීනා එක්ක. අද යන්නේ මේ ඒ ගේම. කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ.” මිනිහ කිව්වා.

“උඹට නම් පිස්සු” මං කිව්වා. ” ඕක තනිකරම රගපෑමක්. ඔය ඔක්කොම කරන්නෙ බොරුව. හරියට චිත්‍රපටියක නලු නිලියො රගපාන්නේ, අන් ඒ වගේම වැඩක්. ඔය සේරම කලින් කථා කරල තියෙන්නේ. දිනන්​නෙ කවුද? පරදින්නේ කවුද? ගහන්නෙ කොහොමද? කියන්න ඕන මොනවද? මේ සේරම කලින්ම ප්ලෑන් කරල ඉවරයි.” මං කිව්වේ එතන ඉන්න මිනිස්සු ඔක්කොටම ඇහෙන්න. ඊට පස්සෙ මගෙ යාලුවට ටිකක් තරහ ගියා. ඒත් මිනිහ මොකුත්ම කියන්න කලින්, රෙස්ලින් මැච් එක බල බල හිටපු කොල්ලෙක් මගෙන් ඈහුව, එහෙමනම් කොහොමද අර යකඩ පුටුවලින්, මේස වලින් ගහගන්නේ, ඈණ ගහපු පොලුවලින් ගහන්නේ, කටු කම්බි උඩට වැටෙන්නේ, ලේ ගලන්නේ, එතකොට ඒ ඔක්කොම රගපෑම්ද? අනේ යන්න ලොක්ක යන්න.” කියලා. ඒ කථාවට මට බකස් ගාලා හිනා ගියා. මගේ හිනාවට එතන හිටපු හැමෝටම තදඋනා. ඒත් මම දිගටය කතා කළා. “ඔය සේරම ඇත්ත නම්, මේ මිනිස්සු මෙලහට මැරිල ඉන්න එපායැ. ඇයි එහෙනම් මේ ගොල්ලො මැරෙන්නෙ නැත්තෙ? යකඩ පුටුවකින් ඔලුවට ගැහුවම ඉතුරුවෙන්න විදියක් නෑනේ.” මං කිව්වා.

වාදේ ඔහොම දිගට ඇදෙන්න ගත්තා. දැන් එතන ඉන්න හැම එකාම මැච් එක පැත්තක තියලා මට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනවා රෙස්ලින් කියන්නේ බොරුවක් නෙමෙයි, රියල් ගේම් එකක් කියල ඔප්පු කරන්න. ඉතින් මමත් දන්න කියන සියළු කාරණා ඉදිරිපත් කළා රෙස්ලින් ඇත්ත නෙමෙයි, රගපෑමක් කියල ඔප්පුකරන්න.  මම මගේ යාලුවගෙන් ඇහුවා “The Wrestler” කියන ෆිල්ම් එක බලල තියනවද කියලා. මිනිහා කිව්වා නෑ කියලා. ඒකනේ කියන්නේ, අඩු තරමින් එක බැලුවනම් තේරෙනවා මේගොල්ලො ස්ටේජ් එකට එන්න කලින් කොච්චර ෆිට් එකේ ඉන්නවද කියලා ස්ටේජ් එක පිටි පස්සේ. තරග කරන දෙන්න එකට එකතුවෙලා කතා කරගන්නවා මෙහෙම කරමු, මෙහෙම කරමු කියලා. දන්නවද? එක තැනකදී එක්කෙනෙක් කියනවා මම ලේ එන්න පොඩ්ඩක් කපා ගන්නවා කියලා. මිනිහ පොඩ් බ්ලේඩ් කෑල්ලක් අතේ හංගගෙන අරන් යනවා. විරුද්ධවාදියා ගහනකොට මිනිහ පොඩ්ඩක් කපාගන්නවා ලේ එන්න. ඒ ලේ එන්නේ අරයා ගහල නෙමෙයි. ඔය ගහන්නෙත් බොරුවට.” මම කියාගෙන කියාගෙන ගියා.

කට්ටියම පොඩි වෙලාවක් සද්ද නැතුව හිටියා. මට හොදටම ෂුවර් මේ ගොල්ලන්ට වැඩේ තරමක්දුරට හෝ තේරුණා කියලා. ඒ හින්දා මං හිටියේ පොඩි උද්දාමයකින්. ඒත් ඒ ගමන්ම වගේ මගේ යාළුවා මට කිව්ව මෙන්න මෙහෙම. “මචං, උඹ රෙස්ලින් බලන්නේ නැත්නම්, කරුණාකරල පැත්තකට වෙලා කට වහගෙන හිටපං අපේ ආතල් එක කඩන්නේ නැතුව අපට මේක බලන්න ඉඩ දීලා.” අනිත් අයත් එහෙන් මෙහෙන් කණු කුණු ගාන්න පටන්ගත්තා. ” මේක තව විනාඩි විස්සකින් ඉවරවෙනවා” මිනිහා කිව්වා. මං ඒ ගමන්ම හැරිල එන්න ආවා.

පහුවෙනිද මං මේක ගැන මුල ඉදන් කල්පනා කළා. මට මේක ලොකු අවුලක්. මෙච්චර හොදටම ​ලොකු බොරුවක් කියල තේරෙන දෙයක්, මේ තරම් සීරියස් කරගෙන මිනිස්සු එන්ජෝයි කරන්නෙ කොහොමද? ඒත් පස්සෙ මට මේක තේරුම්යන්න පටන්ගත්තා. අපි ජීවත්වෙන්නෙ ගංජා ගැසූ සමාජයක. මිනිස්සු ඉන්නෙ තමන්ගෙම ලෝකවල. ඒ ආතල් එක කඩනවට කවුරුවත් කැමති නැහැ.මේ කාලේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නෑ. වැඩට යනවා, එනවා, කනවා, ටී වී බලනවා, නිදියනවා, ආයේ වැඩට යනවා, එනවා, කනවා, ටී වී බලනවා, නිදියනවා. ඉතින් මේ වගේ එකම දේවල් ටිකක් කර කර ඉන්න, මේ වගේ හිස් සමාජයක, මිනිස්සු මොනව හරි දෙයක් හොයාගන්නවා තමන්ගෙ විනෝදය උදෙසා. එහෙම නැත්නම් තමන්ගෙ ආතල් එක උදෙසා. සමහරවෙලාවට මාධ්‍ය මගින්ම මේ ආතල් නිර්මාණය කරල දෙනවා. එක එක ආකාරයෙන්. උදාහරණයක් විදියට මාධ්‍ය මගින් නිර්මාණය කරනවා “ආසියාවේ ආශ්චර්යය” කියල අපූරු දෙයක්. දැන් මේක ලස්සනට හදල, පුම්බලා, අයිසින් දාලා, එලියට දැම්මාම, මිනිස්සු ඒක බාරගන්නවා පරම සත්‍යයක් විදියට. ඊට පස්සේ ඒ ආතල් සිහිනය ඇතුළෙ ජීවත්වෙනවා. එලියෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ දාහක් තිබුණත්, ඒ සේරම විදගෙන, ඉවසගෙන අනාගත ආසියාවේ ආශ්චර්යය කියන සිහිනය ඈතුළෙ ජීවත්වෙමින් ආතල් එකක් ගන්නවා.මිනිස්සු එක හොදාකාරවම දන්නව මේක නම් මේ කපේදී වෙන්නෙ නැති තඩි බොරුවක් කියලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ කරන්නේ ජනතාව ගොනාට ඇන්දිල්ලක් කියලා. ඒක ​එහෙමමයි කියල ඇත්තටම දැනගත්තත්, මිනිස්සු කැමති නැහැ ඒක පිළිගන්න. මොකද දැනට ආතල් එකක් ගන්න තියන එකම සිහිනය ඒක විතරයි. ඉතින්, ඒක ඇත්තම කියල නොහිතා, මේක තඩි බොරුවක් කියල පිලිගත්තොත්, තමන්ගෙ ආතල් එක ඉවරවෙනවා. ඒ හින්දා කවදාවත් සිදුනොවෙන බව දැන දැනම, තඩි බොරුවක් ඇත්ත කරගෙන, ඒක ඇතුළට වෙලා අනිත් ප්‍රශ්ණ ඔක්කෝම අමතක කරල දාලා ජීවත්වෙනවා.

පාන් පිටි මිල එකසිය ගාණට ඉහල යනවා. දරාගන්න බැරි තරමට පාන් සහ පාන් පිටි වලින් නිශ්පාදනය කරන ආහාර පාන ඉහල යනවා. ආණ්ඩුව මේකට ​විසදුමක් දෙන්න බැහැ වගේම අවශ්‍යත් නැහැ. නමුත්, ආණ්ඩුව ඒ බොරුව වහන්න, විමල් වීරවංශ කියන නළුවව දම්මල කියනවා, පාන් පිටි ත්‍රස්තවාදය විනාශ කළ යුතුයි. ඒ හින්දා පාන් පිටි මිල සහ පාන් තව තවත් ඉහල දැමිය යුතුයි කියලා. එහෙම කරන්නෙ දේශීය ගොවියන් රජ කරවන්න. ලාංකිකයන්ට ගුණවත් දේශීය ආහාර සංස්කෘතියක් උරුමකරදෙන්න. රට සශ්‍රීක කරවන්න. දැන් මෙන්න මේ වගේ දවස ගාණේ මාධ්‍ය වලට ඇවිත් කියනකොට, විමල් වීරවංශ කියන නළුවා රගපාන්නේ මහින්ද රාජපක්ෂ ලියල දෙන ස්ක්‍රිප්ට් එක කියල මිනිස්සු දැන දැනම අමතක කරනවා. මිනිස්සු ඒක පරම සත්‍යය විදියට බාරගන්නවා. මොකද ඒ වගේ දෙයක් එක්ක සෙට් උනාම, පාන් මිල ගැනෙන වේදනාව, ඒ අමාරුව වෙන මාර්ගයකින් ඇරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මිනිස්සු පාන් පිටි ත්‍රස්තවාදය කියන බොරුව ඇත්ත කරගෙන, තමන් දේශීය ගොවියා රජකරවන්න උදව් වෙනවා කියලා හිතාගෙන, කවදහරි රට සරුවෙයි කියලා හිතාගෙන, ඒකත් එක්ක ආතල් එකේ ජීවත්වෙනවා. කිසිම ප්‍රශ්ණ කිරීමකින්, එ​රෙහිවීමකින් තොරවම. අනිත් අතට, මේ කාරණේ ගැන කථා කරල මේකට එරෙහිවන අය, ජාති ද්‍රොහීන් හෝ විජාතික බලවේග වල ඉත්තන් බවට හරි පත්වෙනවා. මොකද මේක රට සංවර්ධනයට යන ගමනට එරෙහිවීමක්.

ආසියාවේ ආශ්චර්​යයේ සිට, සරත් ෆොන්සේකා සිරගත කිරීම, දහ අටවෙනි සංශෝධනය, මාධ්‍ය නිදහසට වෙඩි තැබීම, හම්බන්තොට ලොකු වලක් හාරා එය ලෝක පුදුමයක් බවට පත්කිරීමේ සිට, අභිමානවත් සාමය, උතුරු මිතුරු, නැගෙනහිර නවෝදය, මතට තිත, වැනි එකි නොකී මෙකී සියළුම සිහින විවිධාකාරයෙන් මාධ්‍යයන් මගින් එළියට දමා, පට්ටපල් බොරු ජනතා​වගේ ඔලුවල ඇත්තක් බවට පත්කරවා, ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ බංකොලොත් බාවයේ අන්තයටම යමින් සිටින රටේ ගමන් මග ජනතාවට වසග කරමින්, තමන්ගේ අත්තනෝමතික, ඒකාධීපති පාලනය ඉදිරියටම ගෙන යෑමටයි. මිනිසුන් උත්සාහ කරමින් සිටින්නේ, මේ කටුක යථාර්ථයෙන් පලා ගොස්, කුමන හෝ බොරුවක එල්ලී එය පරම සත්‍යය ලෙස සලකමින් සැබෑවෙන් පලා යන්නටයි.

මිනිසුන් මේ පවතින බොරු, පරම සත්‍යය කරගෙන ජීවත්වෙන්නෙ ඇයි..? ඒක දැන් ඉතාම පැහැදිලියි. යම් දෙයක් ගැන යථාවබෝධය ඇතිඋනාම, අපට ඒ කාරණෙත් එක්ක ඩිරෙක්ට් ඩීල් කරන්න වෙනවා. එය මග හැර යා නොහැකි දෙයක් බවට පත්වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු පාන් මිල මේ තරම් ඉහල යෑම ගැන. හැමෝම දන්නවා මේක සිද්ධවෙන්නෙ ඇයි කියලා. රජය අය කරන අධික බදු සහ වෙනත් කාරණා මේකට කෙලින්ම බලපානවා. අවශ්‍යනම් රජයට පුළුවන් බදු සහන දීලා තත්ත්වය වෙනස් කරන්න. මොකද කවුරු මොනව කිව්වත්, ලංකාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් පාන් කන උදවිය. ඒක එහෙම නෙමෙයි නම්, 3.50 ට පාන් දීලා චන්ද්‍රිකාට බලයට ​එන්න පුළුවන් වෙන්නෙ නැහැ. ආණ්ඩුව මේක නොදන්නව නෙමෙයි සහ ආණ්ඩුව දන්නව කොච්චර ගාන වැඩි කරත් මිනිස්සු පාන් කන එක නවත්තන්නෙ නැහැ කියලා. මොකද, ඒක තමයි පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑම වේල. අනික, හැමෝටම උයාගෙන කන්න වෙලාවක් සහ තැනක් නැහැ. විශේෂයෙන් අගනුවර. එහෙම අය ගොඩක් වෙලාවට පිටි වලින් නිශ්පාදනය කරන ආහාර තමයි ආහාරයට ගන්නේ. එතකොට, මෙන්න මේ පිටි කතන්දරේ පිටි පස්සෙ තියන ඇත්ත, අපි ඇත්ත විදියට දකින්න ගත්තොත්, ඒක අපේ ආතල් එක කැඩෙන වැඩක් වෙනවා. එතකොට අපිට ​ඒ වෙනුවෙන් ෆයිට් කරන්න වෙනවා. එලියට බහින්න වෙනවා. ගුටිකන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. යථාර්ථය එක්ක හැප්පෙන්න වෙනවා. ඒත්, ඒ කරදර විදින්නේ නැතුව මේක පිටි ත්‍රස්තවාදය පැරදවීමට එරෙහිව දරණ අවංක උත්සාහයක් කියන බොරුව, ඇත්ත විදියට පිළිගෙන ආතල් එකේ හිටියම ඒ කරදර මුකුත් නැහැ.

පිටි විතරක් නෙමෙයි, ලංකාවේ අද දවසේ සිදුවෙන ඕනෑම දෙයකට මිනිස්සු ඇස් කන් පියාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්නේ, මේ තිත්ත ඇත්ත නොදැන නෙමෙයි. ඔවුන් කැමති නැහැ, තමන්ගෙ ආතල් කඩාගන්න. එතකොට එලියෙ ඉදගෙන මේ වැඩේ ගැන සවිඥාණිකව පාරට බැහැල මේවට විරුද්ධව වැඩකරන අය, ඒ ගැන සංවාද මතුකරනර අය, ඒ ගැන ප්‍රශ්ණ කරන අයව මේ සමාජයේ බහුතරයක් දෙනාට සහ ආණ්ඩුවට පේන්නේ නයාට අදුකොළ වගේ. මොකද ඔවුන් මේ කරන වැඩෙන් ඇත්ත එළිදරව් වෙලා, තමන්ගෙ ආතල් සිහිනය කැඩිල යනවා. මිනිස්සුන්ගෙ ආතල් කඩනවට ආණ්ඩුව කැමතිත් නැහැ. මොකද ආණ්ඩුව ගොඩයන්නේ මිනිස්සු තමන්ගෙ සිහින වල ජීවත්වෙන නිසා. හරියට මම අර ගමේ ගිහින්, ආත්ල එකේ රෙස්ලින් බල බල ඉන්න අයට, ඒකේ තියන බොරුව පෙන්නලා ඔවුන්ගෙ ආතල් කැඩුනම ඒ ගොල්ලන්ට තරහ ගියා වගේම, අපේ සමාජයේ ඉන්න බහුතරයක් කැමති නැහැ තමන්ගේ මේ ආතල් එක කඩන පිරිසට. ජෝන් සීනා පවා පවතින්නේ, තමන් ගැන සැබෑම විශ්වාසයෙන් රෙස්ලින් බලන්න පිරිසක් ඉන්න නිසා. එතකොට ජෝන් සීනා කැමතිවෙන්නෙත් නැහැ, රෙස්ලින්වල තියන අමු බොරුව මිනිස්සු දැනගන්නවට. එතකොට තමන්ගෙ පැවැත්මට ඒක තර්ජනයක්. හරියට ආණ්ඩුව මේ වගේ වැඩවලදී ඉතා තදබල ලෙස එරෙහිවෙන්නෙත් මෙන්න මේ තමන්ගේ පැවැත්මට තර්ජනයක් වන ඇත්ත එළියට එන නිසයි.

පවතින සමාජ විශමතාවයන්ට, ඒකාධිපති වියරුවට, සහ සියළුම අසාධාරණයන්ට එරෙහිව සැබෑලෙසම ක්‍රියාකාරීව වැඩ කරන පිරිස මේ සම්බන්ධයෙන් කොයිතරම් කැපවීමකින් වැඩ කළත්, බලාපොරොත්තුවන ඉලක්ක කරා යන ගමන ප්‍රමාද වන්නේ සහ සමහරවිට සිදුනොවන්නේම, මෙන්න මේ රෙස්ලින් ඇත්ත කියන විශ්වාසයෙන් රෙස්ලින් බලා ආතල් ගන්න අති බහුතරය නිසාමයි. මේක තමන්ව මරන්න ගෙනියන් පොලීසියෙන් ආවත් “සර්…මගේ ආතල් එක කඩන්නෙ නැතුව, හිමීන් උස්සල ගිහින් ජීප් එකෙන් තියයන්න…” කියල කියයන මිනිස්සුන්ගෙන් පිරිණු සමාජයක්. ඇත්තටම මේක ගංජා ගැසූ සමාජයක්.

ඉන්දික ගුණවර්ධන – 2010 – 11 – 15

Advertisements